ඇරයුම්...

තනියෙන් ඇවිත් කවදා හරි තනියම පිට වෙලා යන දිගු ගමනක අතරමැද මොහොතක නවාතැන් ගන්න ආපු 'ආගන්තුක සගයෙක්' මම. ජීවිතේ විඩා නිවන හෙවනක් හොයා ගන්න හිතා ගෙන ගිනි කාස්ටක අවුවෙ හසරක් නොදැන යන ගමන් උනත් ලැබෙන මොහොතක නිවාඩුවෙන් තානායමකට ගොඩ වෙලා තව මං වගේම උන් එක්ක දොඩමළු වෙන්න ලැබුනොත් මම නොනැවතී යන්නෙ නෑ. මෙතනට ගොඩ උනෙත් ඒ හන්දම තමයි. ඉතින් එන්න... මේ 'කැනිමඬල' යටට... දොඩමළු වෙන්න මොහොතක්..

Wednesday, December 21, 2016

෴ මඩ වගුර තවම ඉදිරියෙන් ෴




මඩ  වගුර දරුණුය. පවස සතපවනු පිණිස පැන් පොදක් බීමට එහි බට බොහෝ සත්තු නොසිතූ අයුරින් එහිම එරී ගියහ. ගොඩ එන මගට පළමුව මරණයම ඔවුන් කරා පැමිණියේය. මේ බැව් කල් තියා  දකින නුවණැත්තෝ මඩ වගුරෙහි නොබැස මඩ නොතැවරීම වෙනත් මගකින් වගුර මගහැර එතෙර වෙත්. හරි මග සොයාගැන්ම දුෂ්කර වුවද ඊට යහපත් වෙනත් මගක් නැත්තේමය.

අපහසුවෙන් සොයා ගත යුතු වූ එමග සොයා ගත නොහුනහොත් මෙතෙරම අඳුරු වැටී අතරමං වනු නිසැකය. එනිසාම අවදානම දකිමින්ම වුවද වගුර හරහා ගොස් නොඑරී ප්‍රවේශමෙන් එතෙර වූ සත්තු ද වෙති. මෙසේ යහතින් එතෙර වීමට නම් පිරූ පෙර පින් යහමින් තිබිය යුතු වෙයි. නැතහොත් අසරණව එරී එහිම ගිලී  මිය යනු ඇත.

වටින් එගොඩ වන මගක් මෑතක නොපෙනෙන බැවින් මඩ වගුර හරහා යෑමටය සිදුවී ඇත්තේ. වගුර මතින් යන ඒ ගමන නොඑරී යන්නට, ගමනේ බිහිසුණු බවත් අවදානමත් හඳුනාගත් අයෙකු සිටීම පිටිවහලක් විය හැකිය. සිහියෙන් නුවණින් ගියහොත් නොඑරී එතෙර වීමට මග තවම ඇත. උත්සහාය සහ උනන්දුව නොබිඳී පවත්වා ගැන්ම මඩ වගුරෙන් එතෙර වන එකම ක්‍රමය වනු ඇත.

ඒ බව නිති සිහි වේවා!

Thursday, December 31, 2015

දුරු කිරීමෙන් ජයගත යුතු ආශ්‍රව


සසර සයුරෙන් එතෙර වූ බෝහෝ දෙනෙක් සාමාන්‍ය මිනිසුන් විසින් අසීරු යයි සලකන ලද බොහෝ බාධක වීරියෙන්ම තරණය කළෝ වෙත්. ඒ මග යන අපත් අසීරුවෙන් හෝ බැඳීම් ඇති කර නොගෙන සිටීම පසු කලෙක හෝ නිවැරදි නෙක්ඛම්මයට මාර්ගය වේ යයි සිතේ. දැනට නොදන්නා නෙක්ඛම්මය ගැන උදාසීන වී යම් බැඳීමක බැඳුනොත් එයම පසු කලෙක පසුතැවීමක් විය හැකි බව මම සිතමි. මෙය නිවැරදි නොවීමට ඉඩ ඇත. නිවැරැද්ද කුමක්දැයි අවබෝධ වන තුරු මෙය වඩාත් උචිත මග යයි ගත යුතු බව මගේ මතයයි. පෙනෙන මානයේම මරණයෙන් කෙලවර වන මේ කෙටි ජීවිත කාලයේ තවත් ලෞකික බැඳීම් වලින් කුමන සෙතක්ද?

මට පෙර නිවැරදි මග ගත්තෝ මා හට මාර්ගය පෙන්වා දෙත්වා!

Tuesday, December 30, 2014

රේවත පලා ගියේය...


ඒ රේවත ගේ ආවාහ මංගල්‍යයයි. නැකත් විචාරා, දින නියම කොට, නොයෙක් විසිතුරු සළු පිළියෙන් සැරසී, නෑසියන් පිරිවරා, මංගල රථ පෙරහරින් කුමරියගේ  ගම්බිම් කරා පැමිණ, ආවාහ-විවාහ චාරිත්‍ර සිදු කෙරිණි. දෙපක්ෂයේ නෑදෑයින් එකතුව රන් තලියක යුවල ගේ දෙඅත් තබා "මේ රන් තලියේ පැන් නොබිඳී පවතින්නේ යම් සේද, එසේම ඔබ දෙපලත් නොබිඳී සිටිත්වා, මැය ගේ මිත්තණිය මෙන් ශතාධික කාලයක් යහතින් වෙසෙත්වා" යි ආශිර්වාද කරන ලදී.

මිත්තණිය කවුරුන්දැයි විමසන කුමරු දත් හැලී ගියා වූද, හිසකෙස් ඒ මේ අත විසිර ගියා වූද, සම රැලි වැටී නොයෙක් කැළලින් ගැවසී ගියා වූද, කුදු වූද මැහැල්ලක බව දැක නුවණින් සිතන්නට විය. වයසට ගිය කල්හි මගේ රූමත් කුමරියත් මෙලෙසම දිරා පත් වන්නී නොවේදැයි නුවණ පහළ විය.  මෙසේ නෙක්ඛම්ම සිතිවිලි සිතමින්ම සිය කුමරියද කැටුව රේවත කුමරු මංගල රිය පෙරහරින් සිය ගම්බිම් බලා පිටත් විය.

"විවාහ දිවියට පත්වීමෙන් මේ බැඳුණේ කවර උගුලකද? නෙක නෑසියන් එකතුව සැප සතුට පිරි අනාගතයකට ආසිරි පැතුවද, සැබෑව වනාහි ජරා, ව්‍යාධි, මරණාදියෙන් නොහිස් සෝක කිරීම්, වැළපීම්, දුක්, සුසුම් ලෑම් මෙන්ම ඉච්ඡ භංගයන් ගහන ජීවිතයක්ම වන්නේය. බොහෝ දුක්ඛයන් ඉදිරි කොට ඇත්තා වූ මේ මර උගුලෙන් ගැලවෙනු පිණිස තවම පමා නැත". මෙසේ සිතූ කුමරු කැලයක් මැදින් රිය ගමන් කරන අවස්ථාවේ තමාට සිරුරු කිස පිණිස යයි පවසා රථය නවතා වනයට වැද "ගැලවී ගතිමි"යි සිතා වනය තුලටම සැඟවී ගියේය.

දැඩි අදිටනින් යුතුව වන වැදුණේ  වුවද නොබෝ වේලාවකින් සිය රූමත් බිරිඳ පිලිබඳ නොයෙක් සිතිවිලි සිත්හි ඇඳෙන්නට විය. "ඇය  විවාහ දිවියට පත් වූයේ කෙතරම් බලාපොරොත්තු ගොන්නක් සමගද? මංගල දිනයේම හිමි අහිමි වූ ඈ කොපමණ නම් සෝක කරයිද? වැළපෙයිද? ලැජ්ජාව දරා ගත නොහැකිව මරණයට හෝ ඊට සමාන වූ දුකකට පත් නොවන්නීද? මෙය නම් ඇයට කරන බලවත්ම අසාධාරණයකි. ඇගේ ජීවිතයේ සතුට අද සිට මගේ වගකීම ම වන්නේය". දුකෙන් මිදීමේ සිත් යටපත් කොට විවාහ දිවියේ වගකීම් වලින් පලා යාමේ නින්දනීයත්වය පිලිබඳ හැගීම් මතු විය. බොහෝ වෙලා නොයත්ම හෙතෙම යලිදු රියට ගොඩ වී ගම්බිම් බලා යන ගමනට එක්විණි.

ඇය සැබවින්ම රූමත්ය. ඈ වෙත යුග දිවියේ යුතුකම් ඉටු කරමින් විසීම සතුටක්ම වනු ඇත. "නමුත්... නමුත් ඈ නිසා හිතට දුකක් ඇති නොවිය හැකි යයි කාට කිව හැකිද? ඇය මා සතු වස්තුවෙන් මිල මුදලින් සතුටු කළ නොහැකි වුවහොත්? නිතර අඬදබර සිදු කළොත්? වෙනත් මිනිසුන් කෙරෙහි ආශා කළොත්? මා පත් වන්නේ දුකකටමය. මා අදම ඈ හැර ගියොත් ඈ දුක් වන්නේ වී නමුදු එය සැමදාටම නොවනු ඇත. හටගත් අන් සියල්ල මෙන් ඒ දුකද අනිත්‍ය වී පහ වී යනු ඇත. කල් ගතවී හෝ ඇය නව දිවියක් කරා පිය නගනු ඇත. දුකින් මිදීම පිණිස මා තුල පහළ  වූ නෙක්ඛම්ම සිත බොහෝ උතුම්ය. එබැවින් එයම කරමි" යි සිතු රේවත කුමරු නැවතද සිරුරු කිසක අවශ්‍යතාවය හඟවා රිය නවතා ගෙන කැලයට වැද සැඟවී ගියේය.

දැන් දැන් මනාල කුමරු නැති මංගල රිය පෙරහැර ගම් වදිත්ම නෑසියන් ගම්වැසියන් අපමණ කලබලයට පත් වනු ඇත. මනාල කුමරිය මහ වන මැද තනිකර දමා කුමරු පැන ගිය වග අසා සියලු දෙනම කුමරු ගේ කුල පරපුරට නිගා කරනු ඇත. තමාගේ මංගල දිනය එන තෙක් ඇඟිලි ගනිමින් සිටි තම මව දරා ගත නොහැකි දුකින් හා ලජ්ජාවෙන් බොහෝ විඳවනු ඇත. තමා ගේ ක්‍රියාව නිසා තම කුල පරපුරම නිග්‍රහයට ලක් වනු ඇත. මෙය නම් සිදු නොවිය යුත්තකි. "ආපසු යමි"යි සිතූ කුමරු නොබෝ වෙලාවකින් යලිදු රියට ගොඩවී ගමන් ඇරඹීය.

විවාහ දිවියෙහි ඉදිරිය දුක් රැසක්ම විය හැකි බව හොඳින් දන්නේ වී නමුත්, තම නෑසිය පරම්පරාවේ නම්බුව ගෞරවය උදෙසා මේ කැප කිරීම සිදු කළ යුතුව ඇත. එය උතුම් අරමුණක් උදෙසා සිදු කළ කැප කිරීමකි. එයින්ම එය උතුම් ක්‍රියාවක් වන්නේය. "නමුත්... නමුත් මා උපන් මව්පිය පරපුරේ ගෞරවය රැකීමෙන් කවර ප්‍රයෝජනයක් ද? අතීත භවයන්හි අනන්තවත් රජ සිටු කුල වල මා උපන්නාට කිසිම සැකයක් නැත. ඒ කුල පරම්පරාවන් එකක් වත් අද වන විට තිබේද? ඒවායේ ගෞරවය රැකීමට දිවි දී ක්‍රියා කළ කිසිවෙකුට ඉන් ලැබුණු ඵලයක් වේද? සසර අනන්තවත් සක් දෙව් රජ පදවි සක්විති රජ පදවි දරා ඇති මා ඉන් ලද ගෞරවයක් අද වන විට ඉතිරිව ඇත්ද? කුල පරපුරක නම්බුව වෙනුවෙන් දුක් ගොන්නක් බදා ගැනීම නොවටිනේමය". මේ සිතිවිලි සමග රේවත කුමරු යලිදු රිය නවතා සිරුරු කිස පිණිස යයි පවසා වනයට වැද නොපෙනී ගියේය.

වනයට වී මහණදම් පිරීම උතුම් දෙයකි. ග්‍රාමය මෙන් නොව එහි බොහෝ නිදහස ඇත. සැප සම්පත් අවම වුවද සිතෙහි නිදහස ඊට වඩා ඉතා අගනේය. "නමුත්... නමුත් එහි සා පිපාසාදියෙන් වන දුක් අධිකය. මැසි මදුරු සර්පාදීන්ගෙන් වන උවදුරුද ගහනය. කාලගුණ දේශගුණ විපර්යාසයන් නිසා නිතර ලෙඩ රෝග වලට ගොදුරු වනු නිසැකය. අරණෙහි ජීවිතය යනු පසිඳුරන් පිනවීම් කිසිත් නොමැති ශාරීරික දුක් වලින් පිරි එකකි. ගිහිගෙයි අතට පයට දැසි දස්සන් ඇතිව නොයෙක් රස ආහාර පානාදියෙන් අඩුවක් නැතිව ඉඳුරන් පිනවමින් බොහෝ ලෞකික සැප විඳීමේ ඉඩකඩ මා හට ඕනෑ තරම්ය. රූමත් බිරිඳ සමග කම්සැප විඳිමින් බොහෝ සතුටින් සිටිය හැකිව තිබියදී ඒ සියල්ල හැර දමා වන ගත වීමෙන් මා කරන්නේ අනුවණ කමක් නොවේද?". මෙසේ සිතත්ම ලෞකික කම්සැප කෙරේ ඇති ආශා මුළුමනින් පහ නොකළ රේවතයන් යලිත් වරක් අරණෙහි විසීම කෙරෙහි උදාසීනව ගම්බිම් බලා යන ගමනට එක්විය. 

මා තවම තරුණය. බිරිඳද එසේමය. මේ තරුණ ජීවිතය කම්සැප විඳිමින් විනෝදයෙන් ගෙවනු විනා කැලයකට වැද අපමණ දුක් රැසකට පැමිණවීම අපරාධයකි. එලෙස සිතන අතරම සිතෙහි නැගෙන දෙවැනි සිතිවිල්ලෙක මෙසේද කියැවිණ. ඉන්ද්‍රිය පිනවීමෙහි විපාක බොහෝ විට දුක් සහිතය. ලෞකික සැප විඳිමින් සියක් වසක් විසිය හැකිය. එහෙත් අනවබෝධයෙන් යුතුව මිය යන්නට සිදු වුවහොත් දුගතියෙහි ඉපිද විඳින්නට වන දුක කල්ප ගණනින් වුව නිම නොවේ. මෙසේ පෙර පින් ඇති රේවත තෙම කාමයන්හි කෙටි වූ ආශ්වාදයත් මහත් වූ ආදීනවයත් නුවණින් මෙනෙහි කරන්නට විය. සසර බිය සිහි කරන්නට විය. මිනිස් බවෙක ඇති දුලබ බවත් සද්ධර්මය පවතින කලෙක ලද ක්ෂණ සම්පත්තියෙහි අගයත් ලාමක වූ කම්සැප අබියස දැවැන්තයන් මෙන් දිස් වන්නට විය. මෙබඳු සිතිවිලි පහළ වත්ම රේවතයන්ගේ සිතෙහි යලි නොසෙල්වෙන නෙක්ඛම්ම සිතිවිලි පහළ විය. ගිහිගෙයට තමා බැඳ තබන සියලු බැමි, දිරා ගිය තණපත් මෙන් ඛණ්ඩනය කර දැමීමට අවැසි වීරිය පහළ විය. "යලි නොඑන්නටම යමි"යි අදිටන් කරගත් හෙතෙම නැවතද වරක් සිරුරු කිස කිරීමට අවැසි බව හඟවා, තමා නිසා අන් සැමගේ ගමන පමා වන හෙයින් ඔවුනට රිය පෙරහරින් ගම වෙත යන ලෙස පවසා, තමා තනිවම පසුව එන බව හඟවා වනයට වන්නේය. මෙවර නොසැලෙන සිත් ඇති ඔහු තුරුවැල් පීරාගෙන බොහෝ දුරක් කැලය තුලටම ඇදී ගියේය. 

අරණ මැද්දෙහි තිස් දෙනෙකුගෙන් යුත් බුද්ධ පුත්‍රයින් පිරිසක් වෙත පැමිණි රේවතයන්, "සැරියුත් තෙරුන් ගේ බාල මලණුවන් මම වෙමි, බුදු සසුනෙහි පැවිද්ද දෙනු මැනව "යි ඉල්ලා සිටියේය. දුර්ලභ වූ මිනිසත් භවය විවාහය නම් වූ මර උගුලෙහි හසුවී පලක් නොලබාම ගෙවී යන්නට සියලු කටයුතු සකස් වී තිබියදීත්, පෙර පින් බලෙන් මතුව ආ විරියෙන් හා නුවණින් යුතු වූ රේවත තෙම ගිහි සැප සියල්ලක් ලත් තැනම හැර දමා, කල්ප ගණනකින් මුත් ලැබීම දුෂ්කර වූ උතුම් පැවිද්ද වෙත පැමිණියේය. ගැහැණියකගේ කඳුලද, මව්පිය කුල පරපුරක උරුම කම්ද, කම්සැප කෙරෙහි වූ ලාමක ආශාවන්ද ඔහුව තව දුරටත් ගිහිගෙයි බැඳ තබනු නොහැකිව පසුබා ගියේ එසේය. එලෙස බුදු සසුනෙහි පැවිද්ද ලද රේවතයෝ "ඛදිර වනය" නම් වූ පතොක් වනයකට පිවිස හුදෙකලාවම බවුන් වඩමින් විසූයේ, පළමු වස් කාලයෙහිම සව් කෙලෙසුන් නසා සිව් පිළිසිඹියා පත් මහ රහතන් වහන්සේ නමක් බවට පත්වූහ.


ප.ලි.

බුදුන් කල විසූ ඒ රේවතයන් කිසිසේත් මෙසේ සැලෙන සිත් ඇත්තේ වී යයි නොසිතමි. ප්‍රඥාවන්තයින් අතර අගතැන් පත් සැරියුත් තෙරුන් ගේ මලණු ලෙස ඉපිද, සත් හැවිරිදි වියෙහිදීම ගිහි සැපෙහි ආදීනවයත් සසරෙහි බියකරු බවත් දත් රේවතයන් අසහාය නුවණකින් මෙන්ම වීරියකින්ද යුතු වූ බව නිසැකය. රේවතයන් ගේ සිදුවීම කතාවක ස්වරූපයෙන් මෙලෙස ලියුවේ අද කාලයේ ජීවත්වන දෙගිඩියාවෙන් යුතු 'රේවත' ලා ගැන සිතීමෙනි. 

Monday, January 30, 2012

෴ අම්බලම සැරසීම ෴



ඇස් නිලංකාර කරවන තරම් වූ ගිනි කාස්ටක අව්ව... පලින් පල හැරුණු කොට ගහක් කොළක් නොදක්නා වියරු මරු කතරකට සම වූ හිස් භූමි තලය මැදින් පසුපසිනුත් ඉදිරිපසිනුත් දූලි වලා අතරින් අනන්තය තෙක් දිවෙන පාළු මාර්ගය... පවසට දිය පොදක් හෝ නොලැබ, ගමනාන්තයක් ගැන සේයාවකුදු නොමැතිව, කදමලු බර හිසින් දරා තනිව එමග යන එකිනෙකාට ආගන්තුක වූ පාද යාත්‍රිකයින්... එහැම අයෙකු තුලම තෙරපෙන එකම එක බලාපොරොත්තුවක්...

මේ බලාපොරොත්තුව අනෙකක් නොව, විඩා නිවා ගන්නට, හිස ‍රැඳි බර මොහොතක් සැහැල්ලු කර ගන්නට, පවසට දිය පොදක් බීමට, හිසට සෙවණ දෙන අම්බලමක් හමු වීමයි... අම්බලමකදී ඔබට තවත් ඔබ වැනිම පිරිස් හමු වේවි... තමන් යන ගමනේ ඉමක් කොනක් නොදන්නා තව බොහොම දෙනෙක් ගිමන් නිවන්නට ඒ අම්බලමට ගොඩ වෙලා ඉඳීවි... ඔබ බුද්ධිමත් නම් ඔබ මෙය හුදෙක් විවේකස්ථානයක් පමණක් කරගත යුතු නොවේ... හිසට ලැබුණු සෙවණින් සිහිලක් ලබන අතරම, දිවට දැනෙන පවසට දිය පොදක් බොන අතරම ඔබ ආ දුෂ්කර ගමන ගැනත් ඔබ සිහි කළ යුතුයි... යන්නට ඉතිරිව ඇති මාර්ගයේ දුෂ්කර බවත් සිහි විය යුතුයි... හිස මත ‍රැඳි පොදියේ බර සැහැල්ලු කර ගන්නා සැටියකුත් සිතිය යුතුයි... සියල්ලටමත් වඩා ගමනාන්තයක් නොදැන ඔබ යන ගමනේ ඉමක් දන්නා අයෙකු අම්බලමට ගොඩ වී සිටී නම් එවන් අයගෙන් ගමනාන්තයට මගද අසා ගත යුතුයි...

මේ සටහන කියවන ඔබත් මමත් ලබා ඇති මනුෂ්‍ය භවය අම්බලමක් හා සමාන බව මාගේ හැඟීමයි... මෙම අම්බලමට ගොඩ වීමට පෙර අපි අනන්තවත් දුර කතර ගෙවා ඇත්තෙමු... සංසාර ගමනේ ඇරඹුමක් අපට පෙනෙන්නට නැත... තිරිසන් ගත, අපා ගත ජීවිත අපි අනන්තවත් ගෙවා දමා ඇත්තෙමු... එමෙන්ම අපි කවුරුත් තම තමන්ගේ සංසාර ගමන තනි තනිව යන ආගන්තුක මගියෝ වෙමු... අවාසනාවක මහත!... මේ අම්බලමට ගොඩ වදින අති බහුතරයට තමා ගෙවා ආ දුක්ඛිත මග පිලිබඳ සේයාවකුදු මතක නැත... නැතහොත් ඒ පිලිබඳ සිහි කිරීමේ නුවණක් අපට නැත... එමෙන්ම මෙම අම්බලම යනු තාවකාලික නැවතුම් පොලක් පමණක් බවත්, නොබෝ වේලාවකින් තමන් නැවතත් ගිනිගෙන දැවෙන කතර මගක, ඉමක් නොපෙනෙන අනන්තයක් කරා ගමන් ඇරඹිය යුතු බවත් අපට සිහි නොවේ... මනුෂ්‍ය ජීවිත ලද බොහොම දෙනා ලෞකික සැප සම්පත් සොයා යන්නේත් 'සාර්ථකත්වය' නමින් එකිනෙකා හඹා යන්නට සීමා පනවා ගන්නේත් මේ නොදැනුවත් කම නිසා බව මම සිතමි... අම්බලමක මොහොතක් නවාතැන් ගෙන සිටින අපට අප වැනිම තව අය මෙහි සිටිනු පෙනේ... ඔවුන්ගෙන් ඇතමුන් අපට වඩාත් සමීපව ඇසුරු කරන්නට ලැබේ... ඔවුන් ලඟ තබා ගැනීමට අපද කැමතිය... මේ අය අපි 'පවුල' යනුවෙන් හඳුන්වා ගනිමු... තවත් පිරිස් අප වටා එකතු වන විට මිතුරන්, නෑදෑයින් ද ඇතිවේ... අප මෙන්ම තවත් අය මෙබඳු සබඳතා තනා ගනිද්දී තරඟයක් හට ගනී... ලෞකික දියුණුව නමින් මැනෙන ගේදොර, ඉඩ කඩම්, යාන වාහන, උසස් ‍රැකියා, සමාජ තත්වය ආදී බොහෝ දේ මෙම තරඟයේ යෙදෙන තරඟ කරුවන්ගේ ජීවිත කාලයම අරක් ගැනීම නොවැළැක්විය හැකිය... අපගේ මුල් උදාහරණය සැලකූ විට 'පවුල, මිතුරන්, නෑදෑයින්' යනු අප වැනිම ඉමක් නොදක්නා ගමනක යන ආගන්තුක පිරිසක් අතුරින් එකම මොහොතක අම්බලමට ගොඩ වීමට වාසනාව ලද්දවුන් පිරිසකි... නොබෝ වේලාවකින් අප මෙන්ම ඔවුන්ද මේ අම්බලම හැර දමා සුපුරුදු දිගු ගමනට එකතු වනු ඇත... ගේදොර, යාන වාහන, සමාජ තතවය යනු අම්බලමේ අප ලැගුම් ගත් ඉසව්ව අනුනට පෙනෙන්නට සරසා ගැනීමකි... ලෞකික ඉලක්කයන් හඹා යන අතරතුර අප විසින් ‍රැස් කර ගන්නා සංස්කාරයන්ද බොහෝය... අවසානයේදී අප සිදු කර ඇත්තේ තාවකාලිකව අප ලැගුම් ගත් අම්බලමේදී, අපට කලින් හමු වී ඇති හෝ නැති ආගන්තුක පිරිසක් සමග එකතු වී, නොබෝ වේලාවකින් හැර යාමට නියමිත අම්බලමේ අප ලැගුම් ගත් ප්‍රදේශය සැරසීමකි... ඔසවා ගෙන යාමට නියමිත බර පොදියට තවත් බර එකතු කර ගැනීමකි... ඇත්ත වශයෙන් අප විසින් සිදු කළ යුතුව තිබුනේ, අපට ඉමක් නොපෙනෙන මේ ගමනේ අවසානයක් දන්නා කෙනෙක් අම්බලම තුල අත්දැයි සොයා බලා ඔහුගෙන් මාර්ගය අසා ගැනීමය... මේ ගමනෙහි ඇති වෙහෙසකර බව අවබෝධ කරගෙන ගමන හැකි ඉක්මනින් නිමා කර ගැනීමය... අඩු තරමින් ඉදිරි ගමනට අවශ්‍ය ආහාර, පැන් ආදිය සපයා ගැනීමය, හිස ‍රැඳි පොදියේ බර හැකි තරම් සැහැල්ලු කර ගැනීමය...

මෙම සටහන කියවන ඔබද මමද බුද්ධ ශාසනය පවතින කාලයක, මනුෂ්‍ය ජීවිතයක් ලබා ඇත්තෙමු... එනම් අප ගොඩ වූ අම්බලමේ ගමනාන්තයට මාර්ගය දන්නා අයවළුන් සිටිත්... බුද්ධිමතෙකු විසින් කළ යුතු වන්නේ අම්බලම සැරසීමද හිස බැඳි පොදියට බර එකතු කිරීමද පසෙක තිබියදී, අම්බලම තුල ගෙවන සුළු කාලය තුලදී මග දන්නවුන්ගෙන් එමග අසා දැන ගෙන, නිහඬව, අම්බලම තුල තමා ලද අවකාශය, නිමක් නැති ගමනේ අවසානයක් දකින මගෙහි තමා මෙහෙයවීම පිණිස ප්‍රයෝජනයට ගැනීමයි...

අනවබෝධයෙන් යුතුව 'අම්බලම සරසන' අයට අනුව ඔබ 'අසාර්ථක' වුවද කම් නැත...

Sunday, September 18, 2011

මැජික්...!



මේ ලියා තියන්න හදන්නෙ මම අහපු කියවපු දේවල් වලින් ජීවිතේදි, සංසාරෙදි අපි සැප යැයි කියාගන්නා දේ ගැන අපි නොදකින, අවබෝධ කරගන්න නොහැකි වුණු යථාර්ථය පුහුදුන් මනසට තේරුම් ගන්න පුලුවන් විදියෙ උදාහරණයක්...

අපි සතුට, සැප කියල දකින දේ ඇත්තටම සැපද? ඇත්තටම සතුට කියන දේ තියෙන්නෙ අපි පරිභෝජනය කරන දේවල් වලද නැත්නම් ඒ දේවල් අපේ ඉන්ද්‍රිය වලට ගෝචර වීමත් එක්ක අපි තුල උපදින සිත් නිසාද? දෙවැන්න තමයි නිවැරදි... ඉන්ද්‍රිය හයකින් අපි අරමුණු ගන්නවා... ඒ අරමුණු වලින් ලැබෙන සංඥා සුබ හෝ අසුබ වශයෙන් ගන්නවා... සැප හෝ දුක් වශයෙන් ගන්නවා... අපිට සුඛ විඳීමක් ගෙන දෙන දේවල් අපි නැවත නැවත විඳින්න කැමති වෙනවා... නමුත් ඒ තුල ඇති දුක දකින්න තරම් නුවණ අපි තුල වැඩිලා නෑ... ඇයි? අපි සැපයි කියල හිතන දේවල් හැමදාම අපි ලඟ තියා ගන්න අපිට බැරි ඇයි? ඒවා ඇති වෙලා නැති වෙලා යන හින්දා... කොටින්ම ඒව අනිත්‍ය නිසා... අනිත්‍ය නිසා දුකයි... අපි සැප විඳින්න හිතුවත් අන්තිමේ දුකයි... ඒ කියන්නෙ අපිට ඒවගෙ පාලනයක් නෑ... අනාත්මයි... මේ දුක නොතේරෙන නිසා අපි නැවත නැවත අනිත්‍ය දේ ආත්ම කරගන්න හදනවා... කවදාවත් ඇති වෙන්නෙ නෑ... ලෞකික සාර්ථකත්වය පස්සෙ යන ගොඩ දෙනෙක් මම හිතනවා මැරෙන මොහොතෙවත් සෑහීමකට පත්වෙලා නෑ කියලා... තමන්ට ලබා ගන්න බැරි වුණු දේවල් ගැන දුකින් හරි ලබා ගත්තු දේවල් දාල යන්න බැරි දුකින් හරි තමයි ඒ අය මැරෙන්නෙත්... ජීවත් වෙන කාලෙදි මුළු ලෝකයක් තමන්ගෙ අණසක යටතෙ තියා ගත්තත් මැරෙන මොහොතෙ අසරණයෙක් වගේ තමයි මැරෙන්න වෙන්නෙ... මෙන්න මේ අසරණ බවින් මිදෙන්න ගන්න උත්සාහයකට රුකුලක් වශයෙනුයි මේ සටහන ලියවෙන්නෙ...

වචන මාත්‍ර වශයෙන් හිතුවම අපිට තේරෙනව මේ ලෞකික වූ හැම දෙයක්ම දුකයි කියලා... නමුත් අපිට ඒ සිහිය ගෙවෙන හැම මොහොතකම එක සේ පවත්වා ගන්න අපහසුයි... වෙලාවකට අපි සිහියෙන් හිතනවා මේ අනිත්‍ය දෙවල් සුබ වශයෙන් ගන්න හොඳ නෑ කියලා... ඒත් තව මොහොතකදි ඒ අනිත්‍ය වූ දේ තුලම විඳීමක් සොයනවා... මේ නිසාම අපිට හිතාගන්න අපහසුයි ලෞකිකත්වයෙන් මිදුනු උතුමෙක් කෙලෙස මේ සිහිය පවත්වා ගන්නවාද කියලා... වචන වලින් කිව්වොත් ඒකට කියන්නෙ අවබෝධයෙන් කලකිරීම කියලා... මේ ගැන පුහුදුන් මනසට තේරුම් ගන්න පුලුවන් උදාහරණයක් තමයි මේ...

අපි කවුරුත් ආසයි නෙ මැජික් බලන්න... නැති දේවල් ඇති කරල පෙන්වන, ඇති දේවල් නැති කරල පෙන්වන මැජික් හරිම ආශ්වාදනීයයි... කලින් දැකපු මැජික් එකක් ආයෙ බැලුව කියලා ආශ්වාදය අඩු වෙන්නෙ නෑ... ආයෙම බලන්න තමයි හිතෙන්නෙ... දකින්න දකින්න තව තවත් පුදුමයෙන් ආශ්වාදයෙන් ඒක විඳිනවා... අද දැකපු මැජික් එක හෙටත් දකින්න පතනවා... මේක තමයි ස්වභාවය... හැබැයි පොඩ්ඩක් මෙහෙම හිතන්නකො... අපි ආශ්වාදයෙන් විඳින මැජික් එකේ trick එක කවුරු හරි අපිට ඉගැන්නුවොත්? ඒ කියන්නෙ මැජික් එක කරන හැටි අපිත් දන්නවා... වෙන කෙනෙක් අපිට ඒ මැජික් එක පෙන්නුවා කියල කලින් අපි විඳපු ආශ්වාදය ආයෙත් ඇති වෙනවද? නැවත නැවත ඒ මැජික් එක බලන්න හිතෙනවද?... නෑ නේද?... අන්න ඒ වගේ තමයි මේ හිතෙන් අපිට ලබාදෙන ලෞකික අරමුණුත්... හැම අරමුණකම යටින් තියෙන trick එක තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන්නෙ... ඒ trick එක නොදන්න තාක් කල් එකී අරමුණු විඳිමින්, ආශ්වාදය කරමින් යලි යලිත් ඒවම පතනවා... එහෙම කරන්නෙ ඒවයෙ යථා ස්වභාවය දන්නෙ නැති නිසා... නමුත් මේ අරමුණු වල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ නුවණින් දැකපු කෙනා හරියට අර මැජික් එකේ trick එක දන්න කෙනා වගේ තමයි... එයාට තව දුරටත් ඒකෙ ආශ්වාදයක් නෑ... ඒ නිසාම ආයෙ ආයෙ එවැනි දේවල් පතන්නෙත් නෑ... අන්න ඒ උතුමා තමයි නියම සිහියෙන් යුක්ත කෙනා කියන්නෙ...

මේ උදාහරණය බෞද්ධ පොත් පත් වලින් කියවලා මතක තියාගත්තු විදියට තමයි ලියලා තියෙන්නෙ... මේ උදාහරණය අපිට අවබෝධය ඇති කරවන්නෙ නැති උනත් අවබෝධය කියන්නෙ මොන වගේ දෙයක්ද කියල කියලා දෙනවා කියන එකයි මගේ හැඟීම... ඉතින් මේ ක්ෂණ සම්පත්තිය ලබපු වෙලාවෙ මෙකී අවබෝධය ලබා ගන්න පුලුවන් නම් ඒක තමයි උතුම්ම ජයග්‍රහණය... සාර්ථකත්වය... ඒ මග යන්නට ලැබේවා ...!

Sunday, January 23, 2011

ජීවිතය...


මේ පින්තූරෙට පසුවදනක් ලියන්න කියලා දින ගනණක්ම උත්සාහ කළා. ඒත් ඒ හැම විටෙකම මගේ වදන් වලට වඩා සිය දහස් ගුණයක් හොඳින් මේ පින්තූරය කතා කරනවා... පස්සේ ඒ අදහස අත්හැරලා මං ගැනම ලියන්න හිතුනා...

පුංචි කාලෙ සරුංගලයක් වගේ සැහැල්ලුයි කියලා මම නිතරම කියනවා. මගේ ළමා කාලයත් වෙල් දෙණි වල, ගං ඉවුරු වල, කැලේ කොලේ පහස යහමින් ලැබුණු කාලයක්... "පතිරූප දේස වාසෝ ච" සහ "පුබ්බෙ ච කත පුඤ්ඤතා" වලට පිං සිද්ධ වෙන්න මට ලැබුණු ඒ අසීමිත නිදහස මාව හරි මග මිස නොමග ගෙනගියේ නෑ... ජීවිතේ ඊලඟ පරිච්ඡේද ගැන වැඩි අවබෝධයක් නොතිබ්බත් පුංචි කාලෙත් ඒ ගැන හිතපු වෙලාවල් තිබුණා... කොහොම උණත් පුංචි කාලෙ නම් ඇත්තටම හරිම සුන්දර හිමිදිරියක් වගේ...

කාලෙත් එක්ක දන්නෙම නැතුව මම දැන් දෙවෙනි රාමුවටත් ඇවිත්... ප්‍රාණවත් හිරු ‍රැසින් එළිය වුණු ජව සම්පන්න උදෑසනක් වගේ... සිහින ගොඩක් එක්ක ඒවා හඹා යන්න ඇති පමණ ජවයකුත්... හැබැයි පුංචි කාලෙ හිතුවා වැඩි නිසාදෝ අදටත් යෞවන මදයෙන් මත් වීම කියන සුලබ තත්වයෙන් ඉහලට අවිත් හිතන්න තරම් පන්නරයක් තියනවා... වයසත් එක්ක ජීවතය ගැන පෙරට වඩා ටික ටික තේරෙන්න ගන්නවා... ඒ අවබෝධය නිසාම ජීවිතයේ ඊලඟ ජවනිකා ගැනත් පෙර දැක්මක් යන්තමට වගේ තියනවා... කොටින්ම, මුල්වරට ඇගේ අතින් අල්ලා ප්‍රේමය ප්‍රකාශ කළ මොහොතේ දෙවනුව කී වදන් පෙළම ඊට සාක්ෂි දරනවා...

"... හැම බැඳීමක්ම කියන්නේ තවත් වෙන්වීමක මුල් පියවරක්... අද අපි බැඳුනා වගේම කවදා හරි දවසක වෙන් වෙන්නත් වෙනවා... (මම කතා කළේ මරණය ගැන කියල ඇය දැනං හිටියා) එදාට අපි දෙන්නගෙන් එක්කෙනෙක් තනි වෙනවා... දෙන්නටම එකට යන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්..." ඇය හිස සැලුවා...

මළ හිරු බසින සැන්දෑ යාමෙ වෙද්දි නම් මම හිතන්නෙ කාට වුණත් නිහඬ නිසල රාත්‍රිය ගැන හැඟීමක් තියෙන්න ඕනෙ... අහසත්, පොළවත්, සඳත්, තරුත් අඳුර ගැන දුක් වෙන්නෙ නෑ... මොකද ඒ හැමට මෙය එක් දවසක නිමාව පමණයි... කොහොම උණත් එක දෙයක්... ‍රැය උදා වෙද්දි අපි යන්න ගිහින්... හැබැයි හිමිදිරිය, උදෑසන, දවාල, සැන්දෑව යන සියළු කල්හි අපේ ලොවට හිරු එළිය දුන්නාක් සේම අඳුර වෙළා ගත් රාත්‍රියේදී අඳුරු අහස් කුස පුංචි තරු සිදුරක් හෝ වී අඳුරු මහපොළවට හැමදාමත් පුංචි හෝ එළියක් වෙන්න පුළුවන් නම්, මේ මහපොළවට අපි ණය නෑ...

හිතට කාවැදුණු ගී දෙපදයක් සමග මේ සටහන නිමා කරනවා...

"ලොව දුන්නු දේවල් අද අපට...
හෙට ලොවට පෙරළා දිය යුතුයි.... "

Tuesday, July 13, 2010

සරුංගලය...

මම සරුංගලයක් උණා නම්......

පුංචි කාලෙ රචනා ලිව්වෙ එහෙමයි.... "මම සරුංගලයක් උණා නම්...... ". බිම ඉඳං කරන්න බැරි ඔක්කොම ටික රචනාවෙ ලියනවා... හුලං කපාගෙන ඉහල ගිහින් වළාකුළු වලටත් උඩින් ඈත ගම්බිම් දකින හැටි.... අහස උඩදි කුරුල්ලො එක්ක කතා කරන හැටි... හැම දේම..... පුංචි කාලෙත් සරුංගලයක් වගේ සැහැල්ලුයි නෙ...

ඊට පස්සෙ ටික ටික ලොකු වෙන කොට බොලඳ රචනාවෙන් එහා ගිය ජීවිත යථාර්ථයත් සරුංගලේ තුලින්ම දකිනවා... ජීවිතෙත් හරියට නයිලෝන් නූල අග ‍රැඳි සරුංගලයක්ම තමයි.... නූල බි‍ඳෙන මොහොත කවුරුත් දන්නෙ නෑ... නූල කඩුනු සරුංගලේ උඩු හුලඟට අහුවෙලා ගහගෙන ගිහින් කොහේ වැටෙනවද කියලා කවුද දන්නෙ? සරුංගලේ අයිතිකාරය විතරක් ටික දවසක් ඒ ගැන දුක් වෙනවා.... ඊට පස්සෙ එයත් පරණ පුරුදු ජීවන රටාවටම එක් වෙනවා... පුංචි කාලෙ අත්දැකීම් ලොකු වෙද්දි ජීවන දර්ශනය කරා පරිවර්තනය වෙන්නෙ එහෙමයි....

නූලෙන් ගිලිහුණු සරුංගලයක් වගේ අරමුණක් නැතුව උඩු හුලඟට ඕන අතට ගහගෙන යන්න ඇරල බලන් හිටපු කාලයක් මටත් තිබුනා... "හෙට දිනක්, පෙරමගක්, අරමුණක් නැති ජීවිතේ... " එහෙම ඉඳිද්දි සිඳුනු නූල් පොට වෙන කෙනෙක්ගෙ අතට පත් උනා... ආයෙමත් සරුංගලේට නූලෙ ආතතිය දැනුනා... හුලඟේ සැර දැනුනා... හුලං කපා ගෙන යන්න අරමුණක්, පෙලඹවීමක් ලැබුනා... අලුත් හිමිකරු තමන් දිහා බලන් ඉන්න හැටි සරුංගලේ බලන් ඉන්නෙ හරිම ආඩම්බරෙන්...