ඇරයුම්...

තනියෙන් ඇවිත් කවදා හරි තනියම පිට වෙලා යන දිගු ගමනක අතරමැද මොහොතක නවාතැන් ගන්න ආපු 'ආගන්තුක සගයෙක්' මම. ජීවිතේ විඩා නිවන හෙවනක් හොයා ගන්න හිතා ගෙන ගිනි කාස්ටක අවුවෙ හසරක් නොදැන යන ගමන් උනත් ලැබෙන මොහොතක නිවාඩුවෙන් තානායමකට ගොඩ වෙලා තව මං වගේම උන් එක්ක දොඩමළු වෙන්න ලැබුනොත් මම නොනැවතී යන්නෙ නෑ. මෙතනට ගොඩ උනෙත් ඒ හන්දම තමයි. ඉතින් එන්න... මේ 'කැනිමඬල' යටට... දොඩමළු වෙන්න මොහොතක්..

Thursday, December 31, 2020

෴ ලෝකය කොහේද? ෴

 


ඇහැට පුළුවන් වර්ණ පෙන්වන්න විතරයි. රේඛා, හැඩතල, ත්‍රිමාණ ගැඹුර? මේවා එකක් වත් ඇහේ වැඩ නෙමෙයි. අනිත් ඉන්ද්‍රිය පහටමත් ඒ ඒ ඉන්ද්‍රියේ අධිපති කාර්යය හැරුණු කොට වෙන දෙයක් කරන්න බැහැ.

ඇසට පෙනෙන වර්ණ අපි බැලුවත් නැතත් තියනවා ද? අපි මේ මොහොතේ නොදැක්කට වෙන කෙනෙක් ඒ දේවල් මේ මොහොතේ දකිනවා වෙන්න පුලුවන්ද? කිසිම සත්වයෙකුට මේ මොහොතේ නොපෙනෙන තැනුත් මේ වෙලාවේ "කිසිවෙකුට නොපෙනී තියනවා" ද? අපි බස් එකක පාපුවරුවේ එල්ලිලා යද්දී රියදුරු මහතා අපට නොපෙනුනත්, ඔහු රියදුරු අසුනේ "ඉන්නව" ද?

හිතට හිතෙන සිතුවිලි වලින් සමහර ඒවා "ඇත්තටම තියන දේවල්" වෙන කොට තවත් සමහර දේවල් "බොරු" වෙන්නේ කොහොමද? පාලු පාරක ගොම්මනේ තනියම යන මිනිහෙකුට "මහසෝනා ගහල" සිහි විකල් වෙන එක මිත්‍යාවක් වෙද්දී, ගසකින් ගිලිහුණු ගෙඩියක් "ගුරුත්වාකර්ෂණය නිසා" පොලවට වැටෙන එක ඇත්තක් වුනේ කොහොමද?

සමහර ජීවීන්ට ඉන්ද්‍රිය හයම නැහැ. තියන ඉන්ද්‍රිය උනත් හැම සත්වයාටම එකම දැනුවත්වීම් ගෙනත් දෙනවා කියල කොහොමද කියන්නේ? උදාහරණයක් විදියට, සර්ප කුලයේ සත්වයන් චල-තාපී නේ. ඒ කියන්නේ කය කියන ඉන්ද්‍රියට බාහිර පරිසරයේ උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට සාපේක්ෂව අඩු වැඩි වීමක් ඒ අයට දැනෙන්නේ නෑ. හැබැයි රස්නේ දවසට ඒගොල්ලන්ගේ ශරීරය වේගයෙන් ක්‍රියා කරනවා. ඉක්මනින් බඩගානවා. සීතල දවසට හෙමින්. ඉතින් අචල-තාපී සත්වයන්  වන මිනිස් අපිට "රස්නේ, සීතල" දවස් තිබුනට එයාලට තියෙන්නේ "වේගවත්, සෙමින්" දවස්. 

අපේ ඉන්ද්‍රිය හයෙන් දැනගත්තු ලෝකය හැරෙන්න වෙනත් කිසිම ලෝකයක් අපි දන්නේ නෑ. ඉර, හඳ,  තාරකා, චක්‍රාවාට, කලුකුහර ආදී කෙළවරක් නැති විශ්වයක් ගැන අපි දන්නවා කියල හිතුවට, ගුරුත්වාකර්ෂණ නියම, සාපේක්ෂතා වාදය, ක්වොන්ටම් නියම ආදී කෙළවරක් නැති දැනුම් ගැන අපි දන්නවා කියල හිතුවට, අපේ ඉන්ද්‍රිය හයෙන් ගෙනත් දීපු දෙයකින් එහා දෙයක් නම් අපි දන්නේ නෑ. දැනගන්න විදියකුත් නැහැ. මිනිස් වර්ගයා දැනුමෙන් අනන්ත දිශාවන් වල කෙල පැමිණියා යයි සිතා ගෙන සිටියත්, අර කියපු ඉන්ද්‍රිය හයෙන් එන දැනුම් පහල වූ තරමක් පහල වුනේ අපේ මේ හිස් මුදුනත් පාදාන්තයත් අතර සමෙන් වටවූ සීමාවෙන් මෙපිට පමණයි.  "ලෝකය කොහේද?" යන පැනයට "මහණෙනි, බඹයක් පමණ වූ මේ කය තුල ලෝකය පනවමි" යි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වදාලේ ඒ නිසා.

අපේ වර්තමාන දැනුම් පද්ධතීන් "Theory of everything" සොයා චක්‍රාවාට, කළුකුහර, ඉහල මාන පීරා යද්දී, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ "සියල්ල" මෙසේ දේශනා කර වදාළහ. ඒ සසරෙන් මිදෙනු පිණිස හිතන අයුරුයි.

"මහණෙනි, සියල්ල කවරේද යත්? ඇස ද, රූපයෝ ද, කන ද, ශබ්දයෝ ද, නාසය ද, ගන්‍ධයෝ ද, දිව ද, රසයෝ ද, කය ද, ස්පර්‍ශයෝ ද, සිත ද, ධර්‍මයෝ ද, මහණෙනි, මේ සියල්ල යයි කියනු ලැබේ."

මේ ලියු සටහන උතුම් ලෝකෝත්තර ඥාණයන් හමුවේ අබ පියල්ලක තරම් දෙයක් නොවන බව සිතමි.  සියලු සත්වයින්ගේ ඒ ඒ ලෝක විනිවිද දුටු ඒ උතුම් අපරිමිත ලෝකවිදූ බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා!