අරුණක හිනැහෙන හවසක මැලැවෙන
ඕලු නෙලුම් මහනෙල් අතරේ...
දුකද දුකම වී සැපයද නොරඳන
අක්මුල් සැඟවුණු ගණ අඳුරේ...
දල්වයි මිනිසෙක් මහ ගිනි මැලයක්
අඳුර නිවන්නට දිවි කතරේ...
ලොවට දැනෙන්නට ජීවත් වන්නට
පැතුවද සියොළඟ අළු විසිරේ...
ගිනි දළු කොතරම් සිත දැවුවත්
සුවයකි සිතින් සිතන්...
නිවී පහන් උණු සිතක පහන් බව
දකිනුද කෙලෙස ඉතිං...
°❀⋆.ೃ࿔*:・°❀⋆.ೃ࿔*:・°❀⋆.ೃ࿔*:・°❀⋆.ೃ࿔*:・
අඳුරට හුරුවුණු නිදිගැට පිසහැර
දෙපයට සිරවුණු යදම් බිඳ...
උඩු ගං යන්නට ලොවෙන් එතෙර වී
සැඩ පහරට වන් කෙනෙක් වෙද...
සිහියද වීරිය නුවණත් පෙරටුව
බට ගෙපැලක් ළඟ ඇතෙක් ලෙද...
ඇවිලුණු ගිනිමැල නිවා නිවා යති
නොපතා සසරේ උපන් කඳ...
ගිනි දළු නිවි නිවි යයි පොලවේ
සුවයකි සිතට දැහැන්...
නිවී පහන් උණු සිතක පහන් බව
හැඟුණයි මිහිරි ලෙසින්...
°❀⋆.ೃ࿔*:・°❀⋆.ೃ࿔*:・°❀⋆.ೃ࿔*:・°❀⋆.ೃ࿔*:・
අරුණක හිනැහෙන හවසක මැලැවෙන
නොනිමෙන මේ ලෝ දහම් තුල..
දුකද සැපද දිය බිඳුවකි නොරඳන
නෙලුම් පතක ඉහිරුවා හල..
නොනිවන නොදුලන පැහැසර එළියකි
ගනඳුර විනිවිද පහන් කළ...
ලොවටම නොදැනිම නිවී ගියා වැනි
දැලි වැටි තෙල් නැති පහන් සිල...
නොසැලෙන නොබිඳෙන පිය දහමක්
සුවයක් බවම සිතන්...
කළ යුතු "කම්" තව කිසිවක් නැතිවග
දැනුනයි සිතට සහන්...
°❀⋆.ೃ࿔*:・°❀⋆.ೃ࿔*:・°❀⋆.ೃ࿔*:・°❀⋆.ೃ࿔*:・

No comments:
Post a Comment