
"x y අස්සට z එකක් අවේ කොහෙන්ද? ඉස්සර එහෙම එකක් තිබ්බෙ නෑනෙ??"
ගොඩ කාලෙකට ඉස්සර යාලුවෙකුට උසස් පෙළ ත්‍රිමාණ ජ්‍යාමිතිය උගන්නද්දි ඌ කියපු කතාවක්. ගණිතය කොහොමත් මගේ subject එක හින්ද මම තේරුම් කරලා දුන්නා.
"ඉස්සර අපි කතා කලේ ද්විමාන ජ්‍යාමිතිය. ඒකෙ තියෙන්නේ x y විතරයි. දැන් කරන්නේ ත්‍රිමාණ ජ්‍යාමිතිය. ඒකෙ තව z කියල විචල්‍යයක් තියනවා. x y දෙකම අනුව z වෙනස් වෙනවා."
උගේ නිකටට යටින් තිබ්බ එළු රැවුල් ගස් දෙක තුන මට පෙනුනේ ප්‍රශ්නාර්ථ ලකුණේ යට තියෙන තිත වගේ.
"යකෝ මෙහෙමයි. අපිට එක පාරට නොපෙනුනාට අපි හිතන්නේ නැති මාන තියනවා. අපි x අනුව y වෙනස් වෙන හැටි බලන් හිටියට ඒ දෙකම අනුව වෙනස් වෙන z ශ්‍රිතයක් වෙනස් වෙන්නේ වෙනමම විදියකට. ඒ ශ්‍රිතය නොදන්නා තාක් කල් ඒ ගැන අපිට කියන්න බෑ."
ඌ A /L කරන එක අවුරුද්දක් කල් දැම්මා. දැන් රස්සාවක් කරනවා.
මමත් කැම්පස් ගිහින් උපාධියක් අරන් තව කාලයක් යද්දී රස්සාවක් එහෙම කරගෙන ඉඳියි. ඊටත් ටික කාලෙකට පස්සේ විවාහ වෙලා හොඳ පවුල් ජීවිතයක් එහෙමත් ගත කරයි. එත් අන්තිමේදී මිනිස්සු වෙලා ඉපදිච්ච අපි යා යුතුව තිබූ මානය අපි හැමෝටම අමතක වෙලා. අපි ලෞකික දියුණුව නම් වූ අක්ෂය ඔස්සේ අපේ ඉහල යාම දිහා බලාගෙන අපි අපිවම පහු කර ගෙන යන්න හදන නොනිමි වෑයමක නිරත වෙලා. ඒ අක්ෂය දිගේ ඉහල ගිහින් තමන් දිනුම් කියල තමන්වම රවට්ට ගන්න බහුතර පිරිසක් අතරේ අපිත් සාමාජිකයෝ වෙලා. වෛවර්ණ සායම් වලින් බලන බලන අත ඇස් රවට්ටන මායාවන් පිරුණු තිරස් ලෝකයක මුළු ජීවිත කාලයක් පුරා ඒ මායාවන්ම හඹා යන අතරතුර අපට සිරස් මානය අමතක වෙලා.
x y නම් වූ ලෞකික පරාමිතීන් ඔස්සේ අනන්තයට ගියත් ඒවායින් ස්වායත්ත වූ ලෝකෝත්තර z මානය ඔස්සේ අපි කවුරුත් ඉන්නේ එකම තැන.
අවුරුදු ගානකට කලින් නොදැන සිටි z ශ්‍රිතය තවමත් මම නොදන්නා බව මට තේරුණා...