මේ පින්තූරෙට පසුවදනක් ලියන්න කියලා දින ගනණක්ම උත්සාහ කළා. ඒත් ඒ හැම විටෙකම මගේ වදන් වලට වඩා සිය දහස් ගුණයක් හොඳින් මේ පින්තූරය කතා කරනවා... පස්සේ ඒ අදහස අත්හැරලා මං ගැනම ලියන්න හිතුනා...
පුංචි කාලෙ සරුංගලයක් වගේ සැහැල්ලුයි කියලා මම නිතරම කියනවා. මගේ ළමා කාලයත් වෙල් දෙණි වල, ගං ඉවුරු වල, කැලේ කොලේ පහස යහමින් ලැබුණු කාලයක්... "පතිරූප දේස වාසෝ ච" සහ "පුබ්බෙ ච කත පුඤ්ඤතා" වලට පිං සිද්ධ වෙන්න මට ලැබුණු ඒ අසීමිත නිදහස මාව හරි මග මිස නොමග ගෙනගියේ නෑ... ජීවිතේ ඊලඟ පරිච්ඡේද ගැන වැඩි අවබෝධයක් නොතිබ්බත් පුංචි කාලෙත් ඒ ගැන හිතපු වෙලාවල් තිබුණා... කොහොම උණත් පුංචි කාලෙ නම් ඇත්තටම හරිම සුන්දර හිමිදිරියක් වගේ...
කාලෙත් එක්ක දන්නෙම නැතුව මම දැන් දෙවෙනි රාමුවටත් ඇවිත්... ප්‍රාණවත් හිරු රැසින් එළිය වුණු ජව සම්පන්න උදෑසනක් වගේ... සිහින ගොඩක් එක්ක ඒවා හඹා යන්න ඇති පමණ ජවයකුත්... හැබැයි පුංචි කාලෙ හිතුවා වැඩි නිසාදෝ අදටත් යෞවන මදයෙන් මත් වීම කියන සුලබ තත්වයෙන් ඉහලට අවිත් හිතන්න තරම් පන්නරයක් තියනවා... වයසත් එක්ක ජීවතය ගැන පෙරට වඩා ටික ටික තේරෙන්න ගන්නවා... ඒ අවබෝධය නිසාම ජීවිතයේ ඊලඟ ජවනිකා ගැනත් පෙර දැක්මක් යන්තමට වගේ තියනවා... කොටින්ම, මුල්වරට ඇගේ අතින් අල්ලා ප්‍රේමය ප්‍රකාශ කළ මොහොතේ දෙවනුව කී වදන් පෙළම ඊට සාක්ෂි දරනවා...
"... හැම බැඳීමක්ම කියන්නේ තවත් වෙන්වීමක මුල් පියවරක්... අද අපි බැඳුනා වගේම කවදා හරි දවසක වෙන් වෙන්නත් වෙනවා... (මම කතා කළේ මරණය ගැන කියල ඇය දැනං හිටියා) එදාට අපි දෙන්නගෙන් එක්කෙනෙක් තනි වෙනවා... දෙන්නටම එකට යන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්..." ඇය හිස සැලුවා...
මළ හිරු බසින සැන්දෑ යාමෙ වෙද්දි නම් මම හිතන්නෙ කාට වුණත් නිහඬ නිසල රාත්‍රිය ගැන හැඟීමක් තියෙන්න ඕනෙ... අහසත්, පොළවත්, සඳත්, තරුත් අඳුර ගැන දුක් වෙන්නෙ නෑ... මොකද ඒ හැමට මෙය එක් දවසක නිමාව පමණයි... කොහොම උණත් එක දෙයක්... රැය උදා වෙද්දි අපි යන්න ගිහින්... හැබැයි හිමිදිරිය, උදෑසන, දවාල, සැන්දෑව යන සියළු කල්හි අපේ ලොවට හිරු එළිය දුන්නාක් සේම අඳුර වෙළා ගත් රාත්‍රියේදී අඳුරු අහස් කුස පුංචි තරු සිදුරක් හෝ වී අඳුරු මහපොළවට හැමදාමත් පුංචි හෝ එළියක් වෙන්න පුළුවන් නම්, මේ මහපොළවට අපි ණය නෑ...
හිතට කාවැදුණු ගී දෙපදයක් සමග මේ සටහන නිමා කරනවා...
"ලොව දුන්නු දේවල් අද අපට...
හෙට ලොවට පෙරළා දිය යුතුයි.... "
No comments:
Post a Comment