මම සරුංගලයක් උණා නම්......
පුංචි කාලෙ රචනා ලිව්වෙ එහෙමයි.... "මම සරුංගලයක් උණා නම්...... ". බිම ඉඳං කරන්න බැරි ඔක්කොම ටික රචනාවෙ ලියනවා... හුලං කපාගෙන ඉහල ගිහින් වළාකුළු වලටත් උඩින් ඈත ගම්බිම් දකින හැටි.... අහස උඩදි කුරුල්ලො එක්ක කතා කරන හැටි... හැම දේම..... පුංචි කාලෙත් සරුංගලයක් වගේ සැහැල්ලුයි නෙ...
ඊට පස්සෙ ටික ටික ලොකු වෙන කොට බොලඳ රචනාවෙන් එහා ගිය ජීවිත යථාර්ථයත් සරුංගලේ තුලින්ම දකිනවා... ජීවිතෙත් හරියට නයිලෝන් නූල අග රැඳි සරුංගලයක්ම තමයි.... නූල බිඳෙන මොහොත කවුරුත් දන්නෙ නෑ... නූල කඩුනු සරුංගලේ උඩු හුලඟට අහුවෙලා ගහගෙන ගිහින් කොහේ වැටෙනවද කියලා කවුද දන්නෙ? සරුංගලේ අයිතිකාරය විතරක් ටික දවසක් ඒ ගැන දුක් වෙනවා.... ඊට පස්සෙ එයත් පරණ පුරුදු ජීවන රටාවටම එක් වෙනවා... පුංචි කාලෙ අත්දැකීම් ලොකු වෙද්දි ජීවන දර්ශනය කරා පරිවර්තනය වෙන්නෙ එහෙමයි....
නූලෙන් ගිලිහුණු සරුංගලයක් වගේ අරමුණක් නැතුව උඩු හුලඟට ඕන අතට ගහගෙන යන්න ඇරල බලන් හිටපු කාලයක් මටත් තිබුනා... "හෙට දිනක්, පෙරමගක්, අරමුණක් නැති ජීවිතේ... " එහෙම ඉඳිද්දි සිඳුනු නූල් පොට වෙන කෙනෙක්ගෙ අතට පත් උනා... ආයෙමත් සරුංගලේට නූලෙ ආතතිය දැනුනා... හුලඟේ සැර දැනුනා... හුලං කපා ගෙන යන්න අරමුණක්, පෙලඹවීමක් ලැබුනා... අලුත් හිමිකරු තමන් දිහා බලන් ඉන්න හැටි සරුංගලේ බලන් ඉන්නෙ හරිම ආඩම්බරෙන්...