ඇරයුම්...

තනියෙන් ඇවිත් කවදා හරි තනියම පිට වෙලා යන දිගු ගමනක අතරමැද මොහොතක නවාතැන් ගන්න ආපු 'ආගන්තුක සගයෙක්' මම. ජීවිතේ විඩා නිවන හෙවනක් හොයා ගන්න හිතා ගෙන ගිනි කාස්ටක අවුවෙ හසරක් නොදැන යන ගමන් උනත් ලැබෙන මොහොතක නිවාඩුවෙන් තානායමකට ගොඩ වෙලා තව මං වගේම උන් එක්ක දොඩමළු වෙන්න ලැබුනොත් මම නොනැවතී යන්නෙ නෑ. මෙතනට ගොඩ උනෙත් ඒ හන්දම තමයි. ඉතින් එන්න... මේ 'කැනිමඬල' යටට... දොඩමළු වෙන්න මොහොතක්..

Thursday, December 31, 2020

෴ ලෝකය කොහේද? ෴

 


ඇහැට පුළුවන් වර්ණ පෙන්වන්න විතරයි. රේඛා, හැඩතල, ත්‍රිමාණ ගැඹුර? මේවා එකක් වත් ඇහේ වැඩ නෙමෙයි. අනිත් ඉන්ද්‍රිය පහටමත් ඒ ඒ ඉන්ද්‍රියේ අධිපති කාර්යය හැරුණු කොට වෙන දෙයක් කරන්න බැහැ.

ඇසට පෙනෙන වර්ණ අපි බැලුවත් නැතත් තියනවා ද? අපි මේ මොහොතේ නොදැක්කට වෙන කෙනෙක් ඒ දේවල් මේ මොහොතේ දකිනවා වෙන්න පුලුවන්ද? කිසිම සත්වයෙකුට මේ මොහොතේ නොපෙනෙන තැනුත් මේ වෙලාවේ "කිසිවෙකුට නොපෙනී තියනවා" ද? අපි බස් එකක පාපුවරුවේ එල්ලිලා යද්දී රියදුරු මහතා අපට නොපෙනුනත්, ඔහු රියදුරු අසුනේ "ඉන්නව" ද?

හිතට හිතෙන සිතුවිලි වලින් සමහර ඒවා "ඇත්තටම තියන දේවල්" වෙන කොට තවත් සමහර දේවල් "බොරු" වෙන්නේ කොහොමද? පාලු පාරක ගොම්මනේ තනියම යන මිනිහෙකුට "මහසෝනා ගහල" සිහි විකල් වෙන එක මිත්‍යාවක් වෙද්දී, ගසකින් ගිලිහුණු ගෙඩියක් "ගුරුත්වාකර්ෂණය නිසා" පොලවට වැටෙන එක ඇත්තක් වුනේ කොහොමද?

සමහර ජීවීන්ට ඉන්ද්‍රිය හයම නැහැ. තියන ඉන්ද්‍රිය උනත් හැම සත්වයාටම එකම දැනුවත්වීම් ගෙනත් දෙනවා කියල කොහොමද කියන්නේ? උදාහරණයක් විදියට, සර්ප කුලයේ සත්වයන් චල-තාපී නේ. ඒ කියන්නේ කය කියන ඉන්ද්‍රියට බාහිර පරිසරයේ උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට සාපේක්ෂව අඩු වැඩි වීමක් ඒ අයට දැනෙන්නේ නෑ. හැබැයි රස්නේ දවසට ඒගොල්ලන්ගේ ශරීරය වේගයෙන් ක්‍රියා කරනවා. ඉක්මනින් බඩගානවා. සීතල දවසට හෙමින්. ඉතින් අචල-තාපී සත්වයන්  වන මිනිස් අපිට "රස්නේ, සීතල" දවස් තිබුනට එයාලට තියෙන්නේ "වේගවත්, සෙමින්" දවස්. 

අපේ ඉන්ද්‍රිය හයෙන් දැනගත්තු ලෝකය හැරෙන්න වෙනත් කිසිම ලෝකයක් අපි දන්නේ නෑ. ඉර, හඳ,  තාරකා, චක්‍රාවාට, කලුකුහර ආදී කෙළවරක් නැති විශ්වයක් ගැන අපි දන්නවා කියල හිතුවට, ගුරුත්වාකර්ෂණ නියම, සාපේක්ෂතා වාදය, ක්වොන්ටම් නියම ආදී කෙළවරක් නැති දැනුම් ගැන අපි දන්නවා කියල හිතුවට, අපේ ඉන්ද්‍රිය හයෙන් ගෙනත් දීපු දෙයකින් එහා දෙයක් නම් අපි දන්නේ නෑ. දැනගන්න විදියකුත් නැහැ. මිනිස් වර්ගයා දැනුමෙන් අනන්ත දිශාවන් වල කෙල පැමිණියා යයි සිතා ගෙන සිටියත්, අර කියපු ඉන්ද්‍රිය හයෙන් එන දැනුම් පහල වූ තරමක් පහල වුනේ අපේ මේ හිස් මුදුනත් පාදාන්තයත් අතර සමෙන් වටවූ සීමාවෙන් මෙපිට පමණයි.  "ලෝකය කොහේද?" යන පැනයට "මහණෙනි, බඹයක් පමණ වූ මේ කය තුල ලෝකය පනවමි" යි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වදාලේ ඒ නිසා.

අපේ වර්තමාන දැනුම් පද්ධතීන් "Theory of everything" සොයා චක්‍රාවාට, කළුකුහර, ඉහල මාන පීරා යද්දී, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ "සියල්ල" මෙසේ දේශනා කර වදාළහ. ඒ සසරෙන් මිදෙනු පිණිස හිතන අයුරුයි.

"මහණෙනි, සියල්ල කවරේද යත්? ඇස ද, රූපයෝ ද, කන ද, ශබ්දයෝ ද, නාසය ද, ගන්‍ධයෝ ද, දිව ද, රසයෝ ද, කය ද, ස්පර්‍ශයෝ ද, සිත ද, ධර්‍මයෝ ද, මහණෙනි, මේ සියල්ල යයි කියනු ලැබේ."

මේ ලියු සටහන උතුම් ලෝකෝත්තර ඥාණයන් හමුවේ අබ පියල්ලක තරම් දෙයක් නොවන බව සිතමි.  සියලු සත්වයින්ගේ ඒ ඒ ලෝක විනිවිද දුටු ඒ උතුම් අපරිමිත ලෝකවිදූ බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා!

Monday, December 31, 2018

෴ අනතුර ඔප්පු කිරීම අනවශ්‍යය ෴

Disclaimer: This video is only used as a visual aid for a non-commercial purpose. All video credits to the owner of the video.


මෙලොව උපත ලද මිනිසුන් ජීවිතය යයි ගත් රාමුවක් ඇත. අධ්‍යාපනය, රැකියාව, විවාහය, දරුවන් ලැබීම, උසස්වීම්, ආර්ථිකය, දරුවන්ගේ සාර්ථකත්වය සහ මුනුබුරු මිනිබිරියන් ඇසුරේ ගෙවෙන විවේකී සැඳෑ සමය... මෙයින් එකක් හෝ කිහිපයක් හෝ තමාගෙන් ලෝකයට සිදුවිය යුතු යුතුකම් ඉටුකිරීමක් ලෙසද බොහෝවිට අර්ථ දැක්වෙනු ලබයි. නමුත් බහුතරයක් වටහා නොගත් කරුණ නම් මෙකී පරිපූර්ණ, සම්මත රාමුව ඒ අයුරින්ම අත්දුටු අය අති දුර්ලභ බවයි. ඒ වෙනුවට බහුතරය අත්දකින්නේ ජීවිතයේ විවිධ අවස්ථා වලදී විවිධ හේතු නිසා මෙකී රාමුවෙන් අපගමනය වීම්ය. මේවා ජීවිතයේ ප්‍රශ්න, ගැටළු, හැල හැප්පීම් ලෙස හැඳින්වෙන අතර ඒවා ජීවිතයේම කොටසක් ලෙස බාර ගැනීම බොහෝවිට සිදුවේ. අවසානයේදී බහුතරයක් දෙනා සිදු කර ඇත්තේ සමාජය විසින් දීර්ඝ කාලයක් ඔසවාගෙන ආ පරිපූර්ණ, සම්මත රාමුවක් දෙස බලාගෙන, ඉන් අපගමනය වූ ජීවිතයක් ගෙවා මෙලොවට සමු දීමයි.

කරුණු මෙසේ තිබියදී, බොහෝ "පරිණත" මිනිසුන් තම බාල පරපුරට තමා අසමත් වූ සම්මත රාමුවම පනවන්නට දරන උත්සාහය විටෙක පුදුම සහගතය. වයසින් මුහුකුරා නොගියද ජීවිතයේ යථාර්ථය දැකීමට තරම් නුවණ මුහුකුරා ගිය බාලයෙක් මෙකී සම්මත රාමුවේ ඇති රැවටීම දකී. දෙන ලද රාමුවේ ඇති පියවර සැමෙකක්ම වැරදී යා හැකි ආකාර ගණනාවක් ඔහුට පෙනේ. එවන් ජීවමාන උදාහරණ ඔහු ඕනෑ තරම් දකියි. බහුතරයකට නොතේරෙන සියුම් තැන් වලින් රාමුව උල්ලංඝනය වන අයුරු ඔහු දුර තියාම දකී. එසේ වැරදුනු කල්හි තමාට ජීවිත කාලයක් පුරාවට ප්‍රශ්න, ගැටළු, හැල හැප්පීම් සමග සටන් කිරීමට සිදුවන බව හේ කල් තියාම දකී. දුර්ලභව ලැබුණු මනුෂ්‍ය ජීවිතය සම්මත රාමුවක එල්ලීමට යාමෙන් ක්ෂණ සම්පත්තිය අනතුරේ වැටෙන අයුරු ඔහු මනාව දකී. බහුතරය රැවටී සිටින මුලාවද, එසේ කිරීමෙන් වන අනතුරද කල් තියා, දුර තියා දකින ඔහු රාමුවෙන් පිට ජීවිතයක් ප්‍රිය කරයි. මේ උත්සාහය දකින බහුතරය විසින් රාමුවට අනුගත වන ලෙස කෙරෙන බලපෑම්ද සුළුපටු නොවේ.

මෙවැනි අවස්ථාවක නුවණැත්තෙක් කුමක් නම් කරනු ඇත්ද? රාමුවට අනුගත වීමේ ඇති ගැටළු තමා කල් තියා, දුර තියා දුටු බව ඔප්පු කරනු පිණිස යලි රාමුවට අනුගත වී, ගැටළු මතු වන විට "මා කිවා නොවේදැ?" යි ඇසිය හැකිය. නමුත් එය මහත් අනුවණ කමකි. උගුලක් යයි තමා දැන සිටි දෙය උගුලක් බව අනුනට ඔප්පු කිරීමට උවමනාවෙන්ම උගුලේ පැටලුනා වැනි වැඩකි. නුවණැති අයෙකු නම් බහුතර ලෝකය කුමක් කීවද තමා දුර දක්නා නුවණින් දුටුදෙය අනුවම කටයුතු කරනු ඇත. 

ඒ තමා පරිපුර්ණ, සම්මත රාමුවෙන් පිට බව දැන දැන මය. මන්ද යත්, තමා අනතුරේ හෙලා අනතුර ඔප්පු කිරීම අනවශ්‍යය.

Saturday, December 30, 2017

෴ තට්ටු දියඇලි ෴


සසර ගමන මෙන්ම එමගෙහි ඉතා දුර්ලභව ලැබෙන මිනිස් භවය ද අති මහත් වේගයෙන් ගලා යන ගංගාවක් වැනිය. සැඩපහරට හසුවූ සියල්ලන්ම අතොරක් නිනව්වක් නැතිව ඕඝයෙහි පහලින් පහලටම ගසා ගෙන යෑම ස්වභාවයයි. ඉඳහිට කෙනෙකු මහත් වෙර දරා උඩුගං බලා පිහිනනු පෙනෙයි. සැඩපහර හමුවේ සිහියෙන් අවදියෙන් උකටලී නොවී එලෙස උඩුගං බලා යෑමට අප්‍රමාණ වීර්යයක් මෙන්ම පෙර පින් නමැති කාය බලයද නොමඳව අවැසිය. එසේ බලය මඳ සමහරෙක් දියකඳ ඔස්සේ පහලට ගසා යාමෙහි භයානකත්වය දන්නා නිසාම ගඟට පාත් වූ අත්තක හෝ එල්ලී ගඟ පහලට ගසා යා නොදී හිඳිති. මේ අතරෙහි වීරිය මඳ වූවන් මෙන්ම සැඩපහරෙහි භයානකත්වය හඳුනා නොගත් ඇතැමුන් දිය කඳට හසුවී පහලටම ඇදී යනු පෙනේ. එසේ පහලට ගසා යන්නවුන් තම ගමන ගැන ආඩම්බර වන්නේ නම් එය කොතරම් අනුවණ කමක්ද? මේ ලියා තබන්නට යන්නේ එවැනි ජීවමාන උදාහරණ ගැනයි.

දුර්ලභ මිනිස් ජීවිතය යනු පහලට ගලා යන ගඟක් විවිධ අවස්ථාවල උස් බිම් වලින් කඩාහැලෙන දියඇලිද සහිතව ඇදෙනවා වැන්නකි. කලින් කලට තට්ටුවෙන් තට්ටුව දියඇලි වලින් වැටෙමින් යන ගඟක් ජීවිතයට උපමා වන්නේ, ජීවිතය තුලදීද ඇතැම් කඩඉම් පසු වූ පසු පහලටම යනු විනා නැවත හුන් තැනට ඒම සිහිනයක්ම වන බැවිනි. ජීවිතය තුල අප පසු කරන කඩඉම් වන පාසල් අධ්‍යාපනය, සරසවි අධ්‍යාපනය, උපාධි, ආචාර්ය මහාචාර්ය පදවි, රැකියා, උසස්වීම්, ගේදොර ඉදිකිරීම්, යානවාහන හිමිකම්, විවාහය, දරුවන් ලැබීම්, දරුවන්ගේ කටයුතු ආදී මේ සියල්ලක්ම තට්ටුවෙන් තට්ටුව පහලට වැටෙන දියඇලි ම මිස වෙනකක් නොවේ. බැඳීම් අතහැර උඩුගං බලා පිහිනීමේ අවස්ථාව මේ සෑම පියවරක් පාසාම අපෙන් ඈත් වේ. මේ බව වටහා නොගත් බහුතරය වේගයෙන් සැඩපහරේ දිශාවට පිහිනමින් උනුන් පරයා යන්නට තැත් දරනු පෙනේ. අනෙකෙකුට කලින් තමා ඇල්ලකින් පහලට වැටෙන වාරයක් පාසා එය ජයග්‍රහණයක් සේ සිතා සතුටු වෙති. තමා පසු කළ ඇලි ගණන, සාර්ථකත්වය මනින මිම්ම කරගෙන ඇත. තමා මේ යන්නේ ඝෝර කටුක සසර ඕඝය ගලන දිශාවටම මිස ඉන් මිදෙන දිශාවට නොවන බව වටහා නොගත් මේ පිරිස තමන් පසු කරන කඩඉම්-දියඇලි ගැන ආඩම්බර වීම, නිග්‍රහ කටයුතු අනුවණ කමක් නොවේද?

මෙවන් අනුවණ බහුතරයක් අතර උඩුගං බලා පිහිනමින් හෝ ගඟට පාත් වූ අත්තක එල්ලී හෝ පහලට ගසා යා නොදී, තමා පසු කර හැල්මේ ගොස් සතුටු වන සත්ත්වයින් දෙස අනුකම්පාවෙන් බලා හිඳීම උතුම් බව සිතමි. බහුතරයගේ මිම්මෙන් එය "අසාර්ථක, පසුගාමී, අපතේ ගිය" මිනිස් ජීවිතයක් වන බවට සැක නැත. එසේ වන්නේ වී නමුත් උඩුගං බලා පිහිනා සසර සැඩපහර තරණය කරනු වස් වෙන මගක් මා අද සිටින තැන සිට නොදකිමි.

Wednesday, December 21, 2016

෴ මඩ වගුර තවම ඉදිරියෙන් ෴




මඩ  වගුර දරුණුය. පවස සතපවනු පිණිස පැන් පොදක් බීමට එහි බට බොහෝ සත්තු නොසිතූ අයුරින් එහිම එරී ගියහ. ගොඩ එන මගට පළමුව මරණයම ඔවුන් කරා පැමිණියේය. මේ බැව් කල් තියා  දකින නුවණැත්තෝ මඩ වගුරෙහි නොබැස මඩ නොතැවරීම වෙනත් මගකින් වගුර මගහැර එතෙර වෙත්. හරි මග සොයාගැන්ම දුෂ්කර වුවද ඊට යහපත් වෙනත් මගක් නැත්තේමය.

අපහසුවෙන් සොයා ගත යුතු වූ එමග සොයා ගත නොහුනහොත් මෙතෙරම අඳුරු වැටී අතරමං වනු නිසැකය. එනිසාම අවදානම දකිමින්ම වුවද වගුර හරහා ගොස් නොඑරී ප්‍රවේශමෙන් එතෙර වූ සත්තු ද වෙති. මෙසේ යහතින් එතෙර වීමට නම් පිරූ පෙර පින් යහමින් තිබිය යුතු වෙයි. නැතහොත් අසරණව එරී එහිම ගිලී  මිය යනු ඇත.

වටින් එගොඩ වන මගක් මෑතක නොපෙනෙන බැවින් මඩ වගුර හරහා යෑමටය සිදුවී ඇත්තේ. වගුර මතින් යන ඒ ගමන නොඑරී යන්නට, ගමනේ බිහිසුණු බවත් අවදානමත් හඳුනාගත් අයෙකු සිටීම පිටිවහලක් විය හැකිය. සිහියෙන් නුවණින් ගියහොත් නොඑරී එතෙර වීමට මග තවම ඇත. උත්සහාය සහ උනන්දුව නොබිඳී පවත්වා ගැන්ම මඩ වගුරෙන් එතෙර වන එකම ක්‍රමය වනු ඇත.

ඒ බව නිති සිහි වේවා!

Thursday, December 31, 2015

දුරු කිරීමෙන් ජයගත යුතු ආශ්‍රව


සසර සයුරෙන් එතෙර වූ බෝහෝ දෙනෙක් සාමාන්‍ය මිනිසුන් විසින් අසීරු යයි සලකන ලද බොහෝ බාධක වීරියෙන්ම තරණය කළෝ වෙත්. ඒ මග යන අපත් අසීරුවෙන් හෝ බැඳීම් ඇති කර නොගෙන සිටීම පසු කලෙක හෝ නිවැරදි නෙක්ඛම්මයට මාර්ගය වේ යයි සිතේ. දැනට නොදන්නා නෙක්ඛම්මය ගැන උදාසීන වී යම් බැඳීමක බැඳුනොත් එයම පසු කලෙක පසුතැවීමක් විය හැකි බව මම සිතමි. මෙය නිවැරදි නොවීමට ඉඩ ඇත. නිවැරැද්ද කුමක්දැයි අවබෝධ වන තුරු මෙය වඩාත් උචිත මග යයි ගත යුතු බව මගේ මතයයි. පෙනෙන මානයේම මරණයෙන් කෙලවර වන මේ කෙටි ජීවිත කාලයේ තවත් ලෞකික බැඳීම් වලින් කුමන සෙතක්ද?

මට පෙර නිවැරදි මග ගත්තෝ මා හට මාර්ගය පෙන්වා දෙත්වා!

Tuesday, December 30, 2014

රේවත පලා ගියේය...


ඒ රේවත ගේ ආවාහ මංගල්‍යයයි. නැකත් විචාරා, දින නියම කොට, නොයෙක් විසිතුරු සළු පිළියෙන් සැරසී, නෑසියන් පිරිවරා, මංගල රථ පෙරහරින් කුමරියගේ  ගම්බිම් කරා පැමිණ, ආවාහ-විවාහ චාරිත්‍ර සිදු කෙරිණි. දෙපක්ෂයේ නෑදෑයින් එකතුව රන් තලියක යුවල ගේ දෙඅත් තබා "මේ රන් තලියේ පැන් නොබිඳී පවතින්නේ යම් සේද, එසේම ඔබ දෙපලත් නොබිඳී සිටිත්වා, මැය ගේ මිත්තණිය මෙන් ශතාධික කාලයක් යහතින් වෙසෙත්වා" යි ආශිර්වාද කරන ලදී.

මිත්තණිය කවුරුන්දැයි විමසන කුමරු දත් හැලී ගියා වූද, හිසකෙස් ඒ මේ අත විසිර ගියා වූද, සම රැලි වැටී නොයෙක් කැළලින් ගැවසී ගියා වූද, කුදු වූද මැහැල්ලක බව දැක නුවණින් සිතන්නට විය. වයසට ගිය කල්හි මගේ රූමත් කුමරියත් මෙලෙසම දිරා පත් වන්නී නොවේදැයි නුවණ පහළ විය.  මෙසේ නෙක්ඛම්ම සිතිවිලි සිතමින්ම සිය කුමරියද කැටුව රේවත කුමරු මංගල රිය පෙරහරින් සිය ගම්බිම් බලා පිටත් විය.

"විවාහ දිවියට පත්වීමෙන් මේ බැඳුණේ කවර උගුලකද? නෙක නෑසියන් එකතුව සැප සතුට පිරි අනාගතයකට ආසිරි පැතුවද, සැබෑව වනාහි ජරා, ව්‍යාධි, මරණාදියෙන් නොහිස් සෝක කිරීම්, වැළපීම්, දුක්, සුසුම් ලෑම් මෙන්ම ඉච්ඡ භංගයන් ගහන ජීවිතයක්ම වන්නේය. බොහෝ දුක්ඛයන් ඉදිරි කොට ඇත්තා වූ මේ මර උගුලෙන් ගැලවෙනු පිණිස තවම පමා නැත". මෙසේ සිතූ කුමරු කැලයක් මැදින් රිය ගමන් කරන අවස්ථාවේ තමාට සිරුරු කිස පිණිස යයි පවසා රථය නවතා වනයට වැද "ගැලවී ගතිමි"යි සිතා වනය තුලටම සැඟවී ගියේය.

දැඩි අදිටනින් යුතුව වන වැදුණේ  වුවද නොබෝ වේලාවකින් සිය රූමත් බිරිඳ පිලිබඳ නොයෙක් සිතිවිලි සිත්හි ඇඳෙන්නට විය. "ඇය  විවාහ දිවියට පත් වූයේ කෙතරම් බලාපොරොත්තු ගොන්නක් සමගද? මංගල දිනයේම හිමි අහිමි වූ ඈ කොපමණ නම් සෝක කරයිද? වැළපෙයිද? ලැජ්ජාව දරා ගත නොහැකිව මරණයට හෝ ඊට සමාන වූ දුකකට පත් නොවන්නීද? මෙය නම් ඇයට කරන බලවත්ම අසාධාරණයකි. ඇගේ ජීවිතයේ සතුට අද සිට මගේ වගකීම ම වන්නේය". දුකෙන් මිදීමේ සිත් යටපත් කොට විවාහ දිවියේ වගකීම් වලින් පලා යාමේ නින්දනීයත්වය පිලිබඳ හැගීම් මතු විය. බොහෝ වෙලා නොයත්ම හෙතෙම යලිදු රියට ගොඩ වී ගම්බිම් බලා යන ගමනට එක්විණි.

ඇය සැබවින්ම රූමත්ය. ඈ වෙත යුග දිවියේ යුතුකම් ඉටු කරමින් විසීම සතුටක්ම වනු ඇත. "නමුත්... නමුත් ඈ නිසා හිතට දුකක් ඇති නොවිය හැකි යයි කාට කිව හැකිද? ඇය මා සතු වස්තුවෙන් මිල මුදලින් සතුටු කළ නොහැකි වුවහොත්? නිතර අඬදබර සිදු කළොත්? වෙනත් මිනිසුන් කෙරෙහි ආශා කළොත්? මා පත් වන්නේ දුකකටමය. මා අදම ඈ හැර ගියොත් ඈ දුක් වන්නේ වී නමුදු එය සැමදාටම නොවනු ඇත. හටගත් අන් සියල්ල මෙන් ඒ දුකද අනිත්‍ය වී පහ වී යනු ඇත. කල් ගතවී හෝ ඇය නව දිවියක් කරා පිය නගනු ඇත. දුකින් මිදීම පිණිස මා තුල පහළ  වූ නෙක්ඛම්ම සිත බොහෝ උතුම්ය. එබැවින් එයම කරමි" යි සිතු රේවත කුමරු නැවතද සිරුරු කිසක අවශ්‍යතාවය හඟවා රිය නවතා ගෙන කැලයට වැද සැඟවී ගියේය.

දැන් දැන් මනාල කුමරු නැති මංගල රිය පෙරහැර ගම් වදිත්ම නෑසියන් ගම්වැසියන් අපමණ කලබලයට පත් වනු ඇත. මනාල කුමරිය මහ වන මැද තනිකර දමා කුමරු පැන ගිය වග අසා සියලු දෙනම කුමරු ගේ කුල පරපුරට නිගා කරනු ඇත. තමාගේ මංගල දිනය එන තෙක් ඇඟිලි ගනිමින් සිටි තම මව දරා ගත නොහැකි දුකින් හා ලජ්ජාවෙන් බොහෝ විඳවනු ඇත. තමා ගේ ක්‍රියාව නිසා තම කුල පරපුරම නිග්‍රහයට ලක් වනු ඇත. මෙය නම් සිදු නොවිය යුත්තකි. "ආපසු යමි"යි සිතූ කුමරු නොබෝ වෙලාවකින් යලිදු රියට ගොඩවී ගමන් ඇරඹීය.

විවාහ දිවියෙහි ඉදිරිය දුක් රැසක්ම විය හැකි බව හොඳින් දන්නේ වී නමුත්, තම නෑසිය පරම්පරාවේ නම්බුව ගෞරවය උදෙසා මේ කැප කිරීම සිදු කළ යුතුව ඇත. එය උතුම් අරමුණක් උදෙසා සිදු කළ කැප කිරීමකි. එයින්ම එය උතුම් ක්‍රියාවක් වන්නේය. "නමුත්... නමුත් මා උපන් මව්පිය පරපුරේ ගෞරවය රැකීමෙන් කවර ප්‍රයෝජනයක් ද? අතීත භවයන්හි අනන්තවත් රජ සිටු කුල වල මා උපන්නාට කිසිම සැකයක් නැත. ඒ කුල පරම්පරාවන් එකක් වත් අද වන විට තිබේද? ඒවායේ ගෞරවය රැකීමට දිවි දී ක්‍රියා කළ කිසිවෙකුට ඉන් ලැබුණු ඵලයක් වේද? සසර අනන්තවත් සක් දෙව් රජ පදවි සක්විති රජ පදවි දරා ඇති මා ඉන් ලද ගෞරවයක් අද වන විට ඉතිරිව ඇත්ද? කුල පරපුරක නම්බුව වෙනුවෙන් දුක් ගොන්නක් බදා ගැනීම නොවටිනේමය". මේ සිතිවිලි සමග රේවත කුමරු යලිදු රිය නවතා සිරුරු කිස පිණිස යයි පවසා වනයට වැද නොපෙනී ගියේය.

වනයට වී මහණදම් පිරීම උතුම් දෙයකි. ග්‍රාමය මෙන් නොව එහි බොහෝ නිදහස ඇත. සැප සම්පත් අවම වුවද සිතෙහි නිදහස ඊට වඩා ඉතා අගනේය. "නමුත්... නමුත් එහි සා පිපාසාදියෙන් වන දුක් අධිකය. මැසි මදුරු සර්පාදීන්ගෙන් වන උවදුරුද ගහනය. කාලගුණ දේශගුණ විපර්යාසයන් නිසා නිතර ලෙඩ රෝග වලට ගොදුරු වනු නිසැකය. අරණෙහි ජීවිතය යනු පසිඳුරන් පිනවීම් කිසිත් නොමැති ශාරීරික දුක් වලින් පිරි එකකි. ගිහිගෙයි අතට පයට දැසි දස්සන් ඇතිව නොයෙක් රස ආහාර පානාදියෙන් අඩුවක් නැතිව ඉඳුරන් පිනවමින් බොහෝ ලෞකික සැප විඳීමේ ඉඩකඩ මා හට ඕනෑ තරම්ය. රූමත් බිරිඳ සමග කම්සැප විඳිමින් බොහෝ සතුටින් සිටිය හැකිව තිබියදී ඒ සියල්ල හැර දමා වන ගත වීමෙන් මා කරන්නේ අනුවණ කමක් නොවේද?". මෙසේ සිතත්ම ලෞකික කම්සැප කෙරේ ඇති ආශා මුළුමනින් පහ නොකළ රේවතයන් යලිත් වරක් අරණෙහි විසීම කෙරෙහි උදාසීනව ගම්බිම් බලා යන ගමනට එක්විය. 

මා තවම තරුණය. බිරිඳද එසේමය. මේ තරුණ ජීවිතය කම්සැප විඳිමින් විනෝදයෙන් ගෙවනු විනා කැලයකට වැද අපමණ දුක් රැසකට පැමිණවීම අපරාධයකි. එලෙස සිතන අතරම සිතෙහි නැගෙන දෙවැනි සිතිවිල්ලෙක මෙසේද කියැවිණ. ඉන්ද්‍රිය පිනවීමෙහි විපාක බොහෝ විට දුක් සහිතය. ලෞකික සැප විඳිමින් සියක් වසක් විසිය හැකිය. එහෙත් අනවබෝධයෙන් යුතුව මිය යන්නට සිදු වුවහොත් දුගතියෙහි ඉපිද විඳින්නට වන දුක කල්ප ගණනින් වුව නිම නොවේ. මෙසේ පෙර පින් ඇති රේවත තෙම කාමයන්හි කෙටි වූ ආශ්වාදයත් මහත් වූ ආදීනවයත් නුවණින් මෙනෙහි කරන්නට විය. සසර බිය සිහි කරන්නට විය. මිනිස් බවෙක ඇති දුලබ බවත් සද්ධර්මය පවතින කලෙක ලද ක්ෂණ සම්පත්තියෙහි අගයත් ලාමක වූ කම්සැප අබියස දැවැන්තයන් මෙන් දිස් වන්නට විය. මෙබඳු සිතිවිලි පහළ වත්ම රේවතයන්ගේ සිතෙහි යලි නොසෙල්වෙන නෙක්ඛම්ම සිතිවිලි පහළ විය. ගිහිගෙයට තමා බැඳ තබන සියලු බැමි, දිරා ගිය තණපත් මෙන් ඛණ්ඩනය කර දැමීමට අවැසි වීරිය පහළ විය. "යලි නොඑන්නටම යමි"යි අදිටන් කරගත් හෙතෙම නැවතද වරක් සිරුරු කිස කිරීමට අවැසි බව හඟවා, තමා නිසා අන් සැමගේ ගමන පමා වන හෙයින් ඔවුනට රිය පෙරහරින් ගම වෙත යන ලෙස පවසා, තමා තනිවම පසුව එන බව හඟවා වනයට වන්නේය. මෙවර නොසැලෙන සිත් ඇති ඔහු තුරුවැල් පීරාගෙන බොහෝ දුරක් කැලය තුලටම ඇදී ගියේය. 

අරණ මැද්දෙහි තිස් දෙනෙකුගෙන් යුත් බුද්ධ පුත්‍රයින් පිරිසක් වෙත පැමිණි රේවතයන්, "සැරියුත් තෙරුන් ගේ බාල මලණුවන් මම වෙමි, බුදු සසුනෙහි පැවිද්ද දෙනු මැනව "යි ඉල්ලා සිටියේය. දුර්ලභ වූ මිනිසත් භවය විවාහය නම් වූ මර උගුලෙහි හසුවී පලක් නොලබාම ගෙවී යන්නට සියලු කටයුතු සකස් වී තිබියදීත්, පෙර පින් බලෙන් මතුව ආ විරියෙන් හා නුවණින් යුතු වූ රේවත තෙම ගිහි සැප සියල්ලක් ලත් තැනම හැර දමා, කල්ප ගණනකින් මුත් ලැබීම දුෂ්කර වූ උතුම් පැවිද්ද වෙත පැමිණියේය. ගැහැණියකගේ කඳුලද, මව්පිය කුල පරපුරක උරුම කම්ද, කම්සැප කෙරෙහි වූ ලාමක ආශාවන්ද ඔහුව තව දුරටත් ගිහිගෙයි බැඳ තබනු නොහැකිව පසුබා ගියේ එසේය. එලෙස බුදු සසුනෙහි පැවිද්ද ලද රේවතයෝ "ඛදිර වනය" නම් වූ පතොක් වනයකට පිවිස හුදෙකලාවම බවුන් වඩමින් විසූයේ, පළමු වස් කාලයෙහිම සව් කෙලෙසුන් නසා සිව් පිළිසිඹියා පත් මහ රහතන් වහන්සේ නමක් බවට පත්වූහ.


ප.ලි.

බුදුන් කල විසූ ඒ රේවතයන් කිසිසේත් මෙසේ සැලෙන සිත් ඇත්තේ වී යයි නොසිතමි. ප්‍රඥාවන්තයින් අතර අගතැන් පත් සැරියුත් තෙරුන් ගේ මලණු ලෙස ඉපිද, සත් හැවිරිදි වියෙහිදීම ගිහි සැපෙහි ආදීනවයත් සසරෙහි බියකරු බවත් දත් රේවතයන් අසහාය නුවණකින් මෙන්ම වීරියකින්ද යුතු වූ බව නිසැකය. රේවතයන් ගේ සිදුවීම කතාවක ස්වරූපයෙන් මෙලෙස ලියුවේ අද කාලයේ ජීවත්වන දෙගිඩියාවෙන් යුතු 'රේවත' ලා ගැන සිතීමෙනි. 

Monday, January 30, 2012

෴ අම්බලම සැරසීම ෴



ඇස් නිලංකාර කරවන තරම් වූ ගිනි කාස්ටක අව්ව... පලින් පල හැරුණු කොට ගහක් කොළක් නොදක්නා වියරු මරු කතරකට සම වූ හිස් භූමි තලය මැදින් පසුපසිනුත් ඉදිරිපසිනුත් දූලි වලා අතරින් අනන්තය තෙක් දිවෙන පාළු මාර්ගය... පවසට දිය පොදක් හෝ නොලැබ, ගමනාන්තයක් ගැන සේයාවකුදු නොමැතිව, කදමලු බර හිසින් දරා තනිව එමග යන එකිනෙකාට ආගන්තුක වූ පාද යාත්‍රිකයින්... එහැම අයෙකු තුලම තෙරපෙන එකම එක බලාපොරොත්තුවක්...

මේ බලාපොරොත්තුව අනෙකක් නොව, විඩා නිවා ගන්නට, හිස ‍රැඳි බර මොහොතක් සැහැල්ලු කර ගන්නට, පවසට දිය පොදක් බීමට, හිසට සෙවණ දෙන අම්බලමක් හමු වීමයි... අම්බලමකදී ඔබට තවත් ඔබ වැනිම පිරිස් හමු වේවි... තමන් යන ගමනේ ඉමක් කොනක් නොදන්නා තව බොහොම දෙනෙක් ගිමන් නිවන්නට ඒ අම්බලමට ගොඩ වෙලා ඉඳීවි... ඔබ බුද්ධිමත් නම් ඔබ මෙය හුදෙක් විවේකස්ථානයක් පමණක් කරගත යුතු නොවේ... හිසට ලැබුණු සෙවණින් සිහිලක් ලබන අතරම, දිවට දැනෙන පවසට දිය පොදක් බොන අතරම ඔබ ආ දුෂ්කර ගමන ගැනත් ඔබ සිහි කළ යුතුයි... යන්නට ඉතිරිව ඇති මාර්ගයේ දුෂ්කර බවත් සිහි විය යුතුයි... හිස මත ‍රැඳි පොදියේ බර සැහැල්ලු කර ගන්නා සැටියකුත් සිතිය යුතුයි... සියල්ලටමත් වඩා ගමනාන්තයක් නොදැන ඔබ යන ගමනේ ඉමක් දන්නා අයෙකු අම්බලමට ගොඩ වී සිටී නම් එවන් අයගෙන් ගමනාන්තයට මගද අසා ගත යුතුයි...

මේ සටහන කියවන ඔබත් මමත් ලබා ඇති මනුෂ්‍ය භවය අම්බලමක් හා සමාන බව මාගේ හැඟීමයි... මෙම අම්බලමට ගොඩ වීමට පෙර අපි අනන්තවත් දුර කතර ගෙවා ඇත්තෙමු... සංසාර ගමනේ ඇරඹුමක් අපට පෙනෙන්නට නැත... තිරිසන් ගත, අපා ගත ජීවිත අපි අනන්තවත් ගෙවා දමා ඇත්තෙමු... එමෙන්ම අපි කවුරුත් තම තමන්ගේ සංසාර ගමන තනි තනිව යන ආගන්තුක මගියෝ වෙමු... අවාසනාවක මහත!... මේ අම්බලමට ගොඩ වදින අති බහුතරයට තමා ගෙවා ආ දුක්ඛිත මග පිලිබඳ සේයාවකුදු මතක නැත... නැතහොත් ඒ පිලිබඳ සිහි කිරීමේ නුවණක් අපට නැත... එමෙන්ම මෙම අම්බලම යනු තාවකාලික නැවතුම් පොලක් පමණක් බවත්, නොබෝ වේලාවකින් තමන් නැවතත් ගිනිගෙන දැවෙන කතර මගක, ඉමක් නොපෙනෙන අනන්තයක් කරා ගමන් ඇරඹිය යුතු බවත් අපට සිහි නොවේ... මනුෂ්‍ය ජීවිත ලද බොහොම දෙනා ලෞකික සැප සම්පත් සොයා යන්නේත් 'සාර්ථකත්වය' නමින් එකිනෙකා හඹා යන්නට සීමා පනවා ගන්නේත් මේ නොදැනුවත් කම නිසා බව මම සිතමි... අම්බලමක මොහොතක් නවාතැන් ගෙන සිටින අපට අප වැනිම තව අය මෙහි සිටිනු පෙනේ... ඔවුන්ගෙන් ඇතමුන් අපට වඩාත් සමීපව ඇසුරු කරන්නට ලැබේ... ඔවුන් ලඟ තබා ගැනීමට අපද කැමතිය... මේ අය අපි 'පවුල' යනුවෙන් හඳුන්වා ගනිමු... තවත් පිරිස් අප වටා එකතු වන විට මිතුරන්, නෑදෑයින් ද ඇතිවේ... අප මෙන්ම තවත් අය මෙබඳු සබඳතා තනා ගනිද්දී තරඟයක් හට ගනී... ලෞකික දියුණුව නමින් මැනෙන ගේදොර, ඉඩ කඩම්, යාන වාහන, උසස් ‍රැකියා, සමාජ තත්වය ආදී බොහෝ දේ මෙම තරඟයේ යෙදෙන තරඟ කරුවන්ගේ ජීවිත කාලයම අරක් ගැනීම නොවැළැක්විය හැකිය... අපගේ මුල් උදාහරණය සැලකූ විට 'පවුල, මිතුරන්, නෑදෑයින්' යනු අප වැනිම ඉමක් නොදක්නා ගමනක යන ආගන්තුක පිරිසක් අතුරින් එකම මොහොතක අම්බලමට ගොඩ වීමට වාසනාව ලද්දවුන් පිරිසකි... නොබෝ වේලාවකින් අප මෙන්ම ඔවුන්ද මේ අම්බලම හැර දමා සුපුරුදු දිගු ගමනට එකතු වනු ඇත... ගේදොර, යාන වාහන, සමාජ තතවය යනු අම්බලමේ අප ලැගුම් ගත් ඉසව්ව අනුනට පෙනෙන්නට සරසා ගැනීමකි... ලෞකික ඉලක්කයන් හඹා යන අතරතුර අප විසින් ‍රැස් කර ගන්නා සංස්කාරයන්ද බොහෝය... අවසානයේදී අප සිදු කර ඇත්තේ තාවකාලිකව අප ලැගුම් ගත් අම්බලමේදී, අපට කලින් හමු වී ඇති හෝ නැති ආගන්තුක පිරිසක් සමග එකතු වී, නොබෝ වේලාවකින් හැර යාමට නියමිත අම්බලමේ අප ලැගුම් ගත් ප්‍රදේශය සැරසීමකි... ඔසවා ගෙන යාමට නියමිත බර පොදියට තවත් බර එකතු කර ගැනීමකි... ඇත්ත වශයෙන් අප විසින් සිදු කළ යුතුව තිබුනේ, අපට ඉමක් නොපෙනෙන මේ ගමනේ අවසානයක් දන්නා කෙනෙක් අම්බලම තුල අත්දැයි සොයා බලා ඔහුගෙන් මාර්ගය අසා ගැනීමය... මේ ගමනෙහි ඇති වෙහෙසකර බව අවබෝධ කරගෙන ගමන හැකි ඉක්මනින් නිමා කර ගැනීමය... අඩු තරමින් ඉදිරි ගමනට අවශ්‍ය ආහාර, පැන් ආදිය සපයා ගැනීමය, හිස ‍රැඳි පොදියේ බර හැකි තරම් සැහැල්ලු කර ගැනීමය...

මෙම සටහන කියවන ඔබද මමද බුද්ධ ශාසනය පවතින කාලයක, මනුෂ්‍ය ජීවිතයක් ලබා ඇත්තෙමු... එනම් අප ගොඩ වූ අම්බලමේ ගමනාන්තයට මාර්ගය දන්නා අයවළුන් සිටිත්... බුද්ධිමතෙකු විසින් කළ යුතු වන්නේ අම්බලම සැරසීමද හිස බැඳි පොදියට බර එකතු කිරීමද පසෙක තිබියදී, අම්බලම තුල ගෙවන සුළු කාලය තුලදී මග දන්නවුන්ගෙන් එමග අසා දැන ගෙන, නිහඬව, අම්බලම තුල තමා ලද අවකාශය, නිමක් නැති ගමනේ අවසානයක් දකින මගෙහි තමා මෙහෙයවීම පිණිස ප්‍රයෝජනයට ගැනීමයි...

අනවබෝධයෙන් යුතුව 'අම්බලම සරසන' අයට අනුව ඔබ 'අසාර්ථක' වුවද කම් නැත...