ඇරයුම්...

තනියෙන් ඇවිත් කවදා හරි තනියම පිට වෙලා යන දිගු ගමනක අතරමැද මොහොතක නවාතැන් ගන්න ආපු 'ආගන්තුක සගයෙක්' මම. ජීවිතේ විඩා නිවන හෙවනක් හොයා ගන්න හිතා ගෙන ගිනි කාස්ටක අවුවෙ හසරක් නොදැන යන ගමන් උනත් ලැබෙන මොහොතක නිවාඩුවෙන් තානායමකට ගොඩ වෙලා තව මං වගේම උන් එක්ක දොඩමළු වෙන්න ලැබුනොත් මම නොනැවතී යන්නෙ නෑ. මෙතනට ගොඩ උනෙත් ඒ හන්දම තමයි. ඉතින් එන්න... මේ 'කැනිමඬල' යටට... දොඩමළු වෙන්න මොහොතක්..

Tuesday, December 30, 2014

රේවත පලා ගියේය...


ඒ රේවත ගේ ආවාහ මංගල්‍යයයි. නැකත් විචාරා, දින නියම කොට, නොයෙක් විසිතුරු සළු පිළියෙන් සැරසී, නෑසියන් පිරිවරා, මංගල රථ පෙරහරින් කුමරියගේ  ගම්බිම් කරා පැමිණ, ආවාහ-විවාහ චාරිත්‍ර සිදු කෙරිණි. දෙපක්ෂයේ නෑදෑයින් එකතුව රන් තලියක යුවල ගේ දෙඅත් තබා "මේ රන් තලියේ පැන් නොබිඳී පවතින්නේ යම් සේද, එසේම ඔබ දෙපලත් නොබිඳී සිටිත්වා, මැය ගේ මිත්තණිය මෙන් ශතාධික කාලයක් යහතින් වෙසෙත්වා" යි ආශිර්වාද කරන ලදී.

මිත්තණිය කවුරුන්දැයි විමසන කුමරු දත් හැලී ගියා වූද, හිසකෙස් ඒ මේ අත විසිර ගියා වූද, සම රැලි වැටී නොයෙක් කැළලින් ගැවසී ගියා වූද, කුදු වූද මැහැල්ලක බව දැක නුවණින් සිතන්නට විය. වයසට ගිය කල්හි මගේ රූමත් කුමරියත් මෙලෙසම දිරා පත් වන්නී නොවේදැයි නුවණ පහළ විය.  මෙසේ නෙක්ඛම්ම සිතිවිලි සිතමින්ම සිය කුමරියද කැටුව රේවත කුමරු මංගල රිය පෙරහරින් සිය ගම්බිම් බලා පිටත් විය.

"විවාහ දිවියට පත්වීමෙන් මේ බැඳුණේ කවර උගුලකද? නෙක නෑසියන් එකතුව සැප සතුට පිරි අනාගතයකට ආසිරි පැතුවද, සැබෑව වනාහි ජරා, ව්‍යාධි, මරණාදියෙන් නොහිස් සෝක කිරීම්, වැළපීම්, දුක්, සුසුම් ලෑම් මෙන්ම ඉච්ඡ භංගයන් ගහන ජීවිතයක්ම වන්නේය. බොහෝ දුක්ඛයන් ඉදිරි කොට ඇත්තා වූ මේ මර උගුලෙන් ගැලවෙනු පිණිස තවම පමා නැත". මෙසේ සිතූ කුමරු කැලයක් මැදින් රිය ගමන් කරන අවස්ථාවේ තමාට සිරුරු කිස පිණිස යයි පවසා රථය නවතා වනයට වැද "ගැලවී ගතිමි"යි සිතා වනය තුලටම සැඟවී ගියේය.

දැඩි අදිටනින් යුතුව වන වැදුණේ  වුවද නොබෝ වේලාවකින් සිය රූමත් බිරිඳ පිලිබඳ නොයෙක් සිතිවිලි සිත්හි ඇඳෙන්නට විය. "ඇය  විවාහ දිවියට පත් වූයේ කෙතරම් බලාපොරොත්තු ගොන්නක් සමගද? මංගල දිනයේම හිමි අහිමි වූ ඈ කොපමණ නම් සෝක කරයිද? වැළපෙයිද? ලැජ්ජාව දරා ගත නොහැකිව මරණයට හෝ ඊට සමාන වූ දුකකට පත් නොවන්නීද? මෙය නම් ඇයට කරන බලවත්ම අසාධාරණයකි. ඇගේ ජීවිතයේ සතුට අද සිට මගේ වගකීම ම වන්නේය". දුකෙන් මිදීමේ සිත් යටපත් කොට විවාහ දිවියේ වගකීම් වලින් පලා යාමේ නින්දනීයත්වය පිලිබඳ හැගීම් මතු විය. බොහෝ වෙලා නොයත්ම හෙතෙම යලිදු රියට ගොඩ වී ගම්බිම් බලා යන ගමනට එක්විණි.

ඇය සැබවින්ම රූමත්ය. ඈ වෙත යුග දිවියේ යුතුකම් ඉටු කරමින් විසීම සතුටක්ම වනු ඇත. "නමුත්... නමුත් ඈ නිසා හිතට දුකක් ඇති නොවිය හැකි යයි කාට කිව හැකිද? ඇය මා සතු වස්තුවෙන් මිල මුදලින් සතුටු කළ නොහැකි වුවහොත්? නිතර අඬදබර සිදු කළොත්? වෙනත් මිනිසුන් කෙරෙහි ආශා කළොත්? මා පත් වන්නේ දුකකටමය. මා අදම ඈ හැර ගියොත් ඈ දුක් වන්නේ වී නමුදු එය සැමදාටම නොවනු ඇත. හටගත් අන් සියල්ල මෙන් ඒ දුකද අනිත්‍ය වී පහ වී යනු ඇත. කල් ගතවී හෝ ඇය නව දිවියක් කරා පිය නගනු ඇත. දුකින් මිදීම පිණිස මා තුල පහළ  වූ නෙක්ඛම්ම සිත බොහෝ උතුම්ය. එබැවින් එයම කරමි" යි සිතු රේවත කුමරු නැවතද සිරුරු කිසක අවශ්‍යතාවය හඟවා රිය නවතා ගෙන කැලයට වැද සැඟවී ගියේය.

දැන් දැන් මනාල කුමරු නැති මංගල රිය පෙරහැර ගම් වදිත්ම නෑසියන් ගම්වැසියන් අපමණ කලබලයට පත් වනු ඇත. මනාල කුමරිය මහ වන මැද තනිකර දමා කුමරු පැන ගිය වග අසා සියලු දෙනම කුමරු ගේ කුල පරපුරට නිගා කරනු ඇත. තමාගේ මංගල දිනය එන තෙක් ඇඟිලි ගනිමින් සිටි තම මව දරා ගත නොහැකි දුකින් හා ලජ්ජාවෙන් බොහෝ විඳවනු ඇත. තමා ගේ ක්‍රියාව නිසා තම කුල පරපුරම නිග්‍රහයට ලක් වනු ඇත. මෙය නම් සිදු නොවිය යුත්තකි. "ආපසු යමි"යි සිතූ කුමරු නොබෝ වෙලාවකින් යලිදු රියට ගොඩවී ගමන් ඇරඹීය.

විවාහ දිවියෙහි ඉදිරිය දුක් රැසක්ම විය හැකි බව හොඳින් දන්නේ වී නමුත්, තම නෑසිය පරම්පරාවේ නම්බුව ගෞරවය උදෙසා මේ කැප කිරීම සිදු කළ යුතුව ඇත. එය උතුම් අරමුණක් උදෙසා සිදු කළ කැප කිරීමකි. එයින්ම එය උතුම් ක්‍රියාවක් වන්නේය. "නමුත්... නමුත් මා උපන් මව්පිය පරපුරේ ගෞරවය රැකීමෙන් කවර ප්‍රයෝජනයක් ද? අතීත භවයන්හි අනන්තවත් රජ සිටු කුල වල මා උපන්නාට කිසිම සැකයක් නැත. ඒ කුල පරම්පරාවන් එකක් වත් අද වන විට තිබේද? ඒවායේ ගෞරවය රැකීමට දිවි දී ක්‍රියා කළ කිසිවෙකුට ඉන් ලැබුණු ඵලයක් වේද? සසර අනන්තවත් සක් දෙව් රජ පදවි සක්විති රජ පදවි දරා ඇති මා ඉන් ලද ගෞරවයක් අද වන විට ඉතිරිව ඇත්ද? කුල පරපුරක නම්බුව වෙනුවෙන් දුක් ගොන්නක් බදා ගැනීම නොවටිනේමය". මේ සිතිවිලි සමග රේවත කුමරු යලිදු රිය නවතා සිරුරු කිස පිණිස යයි පවසා වනයට වැද නොපෙනී ගියේය.

වනයට වී මහණදම් පිරීම උතුම් දෙයකි. ග්‍රාමය මෙන් නොව එහි බොහෝ නිදහස ඇත. සැප සම්පත් අවම වුවද සිතෙහි නිදහස ඊට වඩා ඉතා අගනේය. "නමුත්... නමුත් එහි සා පිපාසාදියෙන් වන දුක් අධිකය. මැසි මදුරු සර්පාදීන්ගෙන් වන උවදුරුද ගහනය. කාලගුණ දේශගුණ විපර්යාසයන් නිසා නිතර ලෙඩ රෝග වලට ගොදුරු වනු නිසැකය. අරණෙහි ජීවිතය යනු පසිඳුරන් පිනවීම් කිසිත් නොමැති ශාරීරික දුක් වලින් පිරි එකකි. ගිහිගෙයි අතට පයට දැසි දස්සන් ඇතිව නොයෙක් රස ආහාර පානාදියෙන් අඩුවක් නැතිව ඉඳුරන් පිනවමින් බොහෝ ලෞකික සැප විඳීමේ ඉඩකඩ මා හට ඕනෑ තරම්ය. රූමත් බිරිඳ සමග කම්සැප විඳිමින් බොහෝ සතුටින් සිටිය හැකිව තිබියදී ඒ සියල්ල හැර දමා වන ගත වීමෙන් මා කරන්නේ අනුවණ කමක් නොවේද?". මෙසේ සිතත්ම ලෞකික කම්සැප කෙරේ ඇති ආශා මුළුමනින් පහ නොකළ රේවතයන් යලිත් වරක් අරණෙහි විසීම කෙරෙහි උදාසීනව ගම්බිම් බලා යන ගමනට එක්විය. 

මා තවම තරුණය. බිරිඳද එසේමය. මේ තරුණ ජීවිතය කම්සැප විඳිමින් විනෝදයෙන් ගෙවනු විනා කැලයකට වැද අපමණ දුක් රැසකට පැමිණවීම අපරාධයකි. එලෙස සිතන අතරම සිතෙහි නැගෙන දෙවැනි සිතිවිල්ලෙක මෙසේද කියැවිණ. ඉන්ද්‍රිය පිනවීමෙහි විපාක බොහෝ විට දුක් සහිතය. ලෞකික සැප විඳිමින් සියක් වසක් විසිය හැකිය. එහෙත් අනවබෝධයෙන් යුතුව මිය යන්නට සිදු වුවහොත් දුගතියෙහි ඉපිද විඳින්නට වන දුක කල්ප ගණනින් වුව නිම නොවේ. මෙසේ පෙර පින් ඇති රේවත තෙම කාමයන්හි කෙටි වූ ආශ්වාදයත් මහත් වූ ආදීනවයත් නුවණින් මෙනෙහි කරන්නට විය. සසර බිය සිහි කරන්නට විය. මිනිස් බවෙක ඇති දුලබ බවත් සද්ධර්මය පවතින කලෙක ලද ක්ෂණ සම්පත්තියෙහි අගයත් ලාමක වූ කම්සැප අබියස දැවැන්තයන් මෙන් දිස් වන්නට විය. මෙබඳු සිතිවිලි පහළ වත්ම රේවතයන්ගේ සිතෙහි යලි නොසෙල්වෙන නෙක්ඛම්ම සිතිවිලි පහළ විය. ගිහිගෙයට තමා බැඳ තබන සියලු බැමි, දිරා ගිය තණපත් මෙන් ඛණ්ඩනය කර දැමීමට අවැසි වීරිය පහළ විය. "යලි නොඑන්නටම යමි"යි අදිටන් කරගත් හෙතෙම නැවතද වරක් සිරුරු කිස කිරීමට අවැසි බව හඟවා, තමා නිසා අන් සැමගේ ගමන පමා වන හෙයින් ඔවුනට රිය පෙරහරින් ගම වෙත යන ලෙස පවසා, තමා තනිවම පසුව එන බව හඟවා වනයට වන්නේය. මෙවර නොසැලෙන සිත් ඇති ඔහු තුරුවැල් පීරාගෙන බොහෝ දුරක් කැලය තුලටම ඇදී ගියේය. 

අරණ මැද්දෙහි තිස් දෙනෙකුගෙන් යුත් බුද්ධ පුත්‍රයින් පිරිසක් වෙත පැමිණි රේවතයන්, "සැරියුත් තෙරුන් ගේ බාල මලණුවන් මම වෙමි, බුදු සසුනෙහි පැවිද්ද දෙනු මැනව "යි ඉල්ලා සිටියේය. දුර්ලභ වූ මිනිසත් භවය විවාහය නම් වූ මර උගුලෙහි හසුවී පලක් නොලබාම ගෙවී යන්නට සියලු කටයුතු සකස් වී තිබියදීත්, පෙර පින් බලෙන් මතුව ආ විරියෙන් හා නුවණින් යුතු වූ රේවත තෙම ගිහි සැප සියල්ලක් ලත් තැනම හැර දමා, කල්ප ගණනකින් මුත් ලැබීම දුෂ්කර වූ උතුම් පැවිද්ද වෙත පැමිණියේය. ගැහැණියකගේ කඳුලද, මව්පිය කුල පරපුරක උරුම කම්ද, කම්සැප කෙරෙහි වූ ලාමක ආශාවන්ද ඔහුව තව දුරටත් ගිහිගෙයි බැඳ තබනු නොහැකිව පසුබා ගියේ එසේය. එලෙස බුදු සසුනෙහි පැවිද්ද ලද රේවතයෝ "ඛදිර වනය" නම් වූ පතොක් වනයකට පිවිස හුදෙකලාවම බවුන් වඩමින් විසූයේ, පළමු වස් කාලයෙහිම සව් කෙලෙසුන් නසා සිව් පිළිසිඹියා පත් මහ රහතන් වහන්සේ නමක් බවට පත්වූහ.


ප.ලි.

බුදුන් කල විසූ ඒ රේවතයන් කිසිසේත් මෙසේ සැලෙන සිත් ඇත්තේ වී යයි නොසිතමි. ප්‍රඥාවන්තයින් අතර අගතැන් පත් සැරියුත් තෙරුන් ගේ මලණු ලෙස ඉපිද, සත් හැවිරිදි වියෙහිදීම ගිහි සැපෙහි ආදීනවයත් සසරෙහි බියකරු බවත් දත් රේවතයන් අසහාය නුවණකින් මෙන්ම වීරියකින්ද යුතු වූ බව නිසැකය. රේවතයන් ගේ සිදුවීම කතාවක ස්වරූපයෙන් මෙලෙස ලියුවේ අද කාලයේ ජීවත්වන දෙගිඩියාවෙන් යුතු 'රේවත' ලා ගැන සිතීමෙනි.